SRILANKAN NEWS

අලුත්වැඩියා කළ ඉරණමඩු ජලාශයේ අවශ්‍ය තරම් ජලය නොමැති හෙයින් යල කන්නයේ වී වගාව අර්බුදයක..

කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජල මට්ටම දැනට අඩි 16.6කට බැස තිබීම හේතුවෙන් මෙවර යල කන්නයේ වී වගාවට අර්බුදකාරි තත්වයක් ඇතිවී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තුමෙන්තුව පවසයි.

පසුගිය කාලයේ දී ඉරණමඩු ජලාශයෙහි අඩි 30කට ජලය රදා පවත්වා ගන්නා විට පෙබරවාරි, මාර්තු මස වන විට ජලාශයේ ජල මට්ටම අඩි 24ක් ලෙස පවතියි. එම තත්වයදී ඉරණමඩු ජලාශය යටතේ අක්කර 8000කදී යල කන්නයේ වී වගාව සිඳු කෙරුණි.

නමුත් දැන් පසුගිය වසර දෙකක කාලයක් ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් ආධාර මත ඉරණමඩු ජලාශය අලුත්වැඩියා කර ජලාශයේ ජල ධාරිතාව අඩි 36 දක්වා ඉහළ දමා ඇති නමුත් පසුගිය මෝසම් වර්ෂාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අවශ්‍ය තරම් ජලය එක්රැස් කර ගැනීමට නොහැකිවූ බව පැවැසේ. එමෙන් දැනට පවතින්නේ අඩි 16.6ක ජල මට්ටමක් බවත් මෙම තත්වය දිගටම පවතියේ නම් මෙවර යල කන්නයේ වී වගාවට බලපෑමක් ඇති විය හැකි බව වාරි මාර්ග දෙපාර්තුමෙන්තුව පවසා තිබේ.

බොහෝ විට මාර්තු මස දී වර්ෂාව ලැබීම සාමාන්‍ය බැවින් එළඹෙන මාර්තු මස ප්‍රමාණවත් වර්ෂාපතනයක් ලැබුණේ නම් ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් යල කන්නයට ජලය මුදාහැරීමට හැකි බවත්, එලෙස ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබුණ හොත් යල කන්නයේ වී වගාව සිඳු කිරීමට නොහැකි තත්වයක් ඇති විය හැකි බවද වැඩිදුරටත් පවසා තිබේ.