SRILANKAN NEWS

මහ බැංකු බැඳුම්කරය ගැන අල්ලස් කොමිසම රවීගෙන් ප්‍රශ්න කරයි

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ. නිලධාරීන් ඊයේ (27දා) පැය හතරක් පමණ ප‍්‍රශ්න කොට ප‍්‍රකාශයක් සටහන් කරගත් බව වාර්තා වේ.

අල්ලස් කොමිසමේ දැනුම් දීමක් අනුව රවී කරුණානායක මහතා ඊයේ උදේ 9.30 ට පමණ අල්ලස් කොමිෂන් සභා කාර්යාලයට පැමිණි අතර ප‍්‍රකාශය ලබාදීමෙන් අනතුරුව පසුවරු 1.30 ට පමණ කොමිෂන් සභා කාර්යාලයෙන් පිටවී ගොස් ඇත.

වත්මන් රජය යටතේ බැදුම්කර නිකුත් කිරීම පිළිබඳව පරීක්‍ෂා කර බැලූ ජනාධිපති කොමිෂමේ වාර්තාව ජනාධිපතවරයා විසින් අල්ලස් කොමිසමට යොමු කර තිබු අතර එම වාර්තාව පදනම් කර ගනිමින් කොමිසමේ විමර්ශන නිලධාරීන් රවී කරුණානායක මහතාගෙන් ප‍්‍රශ්න කළ බව දැනගන්නට තිබේ.

රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යධුරය දරද්දී ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් පදිංචිව සිටි කොල්ලූපිටියේ ‘මොනෑක් එපාර්ට්මන්ට්’ නිවාස සංකීර්ණයේ නිවාස වෙනුවෙන් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට අනුබද්ධිත සමාගමක් මඟින් බදු මුදල් ගෙවීමෙන් ඔහුට සැළකිය යුතු ප‍්‍රතිලාභයක් ලැබුණේදැයි යන්න පිළිබඳව සළකන ලෙසත් එසේ ප‍්‍රතිලාභයක් ලැබී ඇත්නම් රවී කරුණානායක මහතාට එරෙහිව අල්ලස් පනත යටතේ සුදුසු පියවර ගතයුතුදැයි තීරණය කරන ලෙසත් ජනාධිපති කොමිසම සිය වාර්තාවෙන් නිර්දේශ කොට ඇත.

එම නිර්දේශය අනුව කටයුතු කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් මේ පිළිබඳව රවී කරුණානායක මහතාගේ ස්ථාවරය දැන ගැනීම සඳහා ඊයේ කොමිසම හමුවට කැඳවා ඇත.