ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ බල අරගලය හේතුවෙන් රට තුළ අරාජික තත්වයක් ඇතිවී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර දිසානායක මහතා පවසයි.
පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (28) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.
එහිදී අනුර දිසානායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ,
“රට තුළ ඇතිවී තිබෙන්නේ අරාජික තත්වයක්. රටේ ආණ්ඩුවක් නොමැති තත්වයකට පත්වෙලා. ආණ්ඩුවේ සිටින රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායම සහ මෛත්‍රීපාල සිරිසේනගේ කණ්ඩායම එකිනෙකාට එරෙහිව තමන්ගේ බල වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. මේ කණ්ඩායම් දෙකම රටේ ජනතාවගේ වුවමනාවන් වෙනුවට තම බල වුවමනාව සාර්ථක කරගැනීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ආණ්ඩුව ජනතාවට ඉටුකළ යුතු වගකීම් අමතක කරමින් රට අරාජික තත්වයකට පත්කර තිබෙනවා.
එම නිසා විවිධ පීඩාවන්ට මුහුණදී තිබෙන ජනතාවගේ ගැටලු, අයිතීන් පදනම් කර ගනිමින් ඒවා දිනා ගැනීම සඳහා පාරේ සටනක් ආරම්භ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම්. ආණ්ඩුවේ මේ විගඩම් නාටකයට තවදුරටත් ඉඩදිය යුතු නැහැ. අපේ රටේ ජනතාව ආණ්ඩුවේ විගඩම් නාටකයේ ඇතිවන ව්‍යසනයට ගොදුරු වීමෙන් බේරාගත යුතුව තිබෙනවා. ගොවි ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යට ගැසීමට ආණ්ඩුවට ඉඩ නොදී එම ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම්. සිය අධ්‍යාපනයට සුදුසු රැකියාවක් නොමැතිව රැකියා විරහිතභාවයෙන් පෙළෙන උපාධිධාරීන්ගේ ගැටලු වෙනුවෙන් මැදිහත් වෙන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම්. අගමැතිවරයාගේ, ජනාධිපතිවරයාගේ, ආණ්ඩුවේ අර්බුද අරලියගහ මන්දිරයේ හෝ ජනාධිපති මන්දිරයේ තබා ගන්නා ලෙසත් එහිදී විසඳා ගන්නා ලෙසත් අපි ආණ්ඩුවට කියනවා. ජනතාවගේ වුවමනාවන් වෙනුවෙන් ජනතාව සමඟ ආණ්ඩුවට එරෙහිව සටන් කරන්නට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බව අපි අවධාරණය කරනවා.” යැයි අනුර දිසානායක මහතා පවසා සිටියේය.
Add Comment