SRILANKAN NEWS

කේප්පාපිලවු ජනතාවගේ අරගලයට වසරයි..

තම පාරම්පරික ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා සත්‍යග්‍රහයක නිරතව සිටින කේප්පාපිලවු ජනතාවගේ අරගලයට ඊයේ (1) දිනට වසරක් සම්පූර්ණ වි තිබේ. මෙවැනි තත්වයකදී තම ඉදිරි ක්‍රියාමාර්ගය ගැන සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමෙන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ට එම ජනතාව ඇරයුම් කර තිබුණි.

ඒ අනුව, පාර්ලිමෙන්තු මන්ත්‍රී සාන්දි ශ්‍රීස්කන්දරාජා, උතුරු පළාත් කෘෂිකර්ම ඇමැති කන්දයියා සිවනේසන්, උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ටී. රවිකරන්, ඒ. බුවනේස්වරන් යන පිරිස සත්‍යග්‍රහයේ නිරත එම ජනතාව හමුවිය.

එහිදී අදහස් ප්‍රකාශ කළ සාන්දි ශ්‍රීස්කන්දරාජා, මේ සම්බන්‍ධයෙන් සත්‍යග්‍රහයේ නිරත ජනතාවට ජනාධිපතිවරයා හමුවී සඳහා වු කටයුතු විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා විසින් සිඳු කර ඇති බවද පවසා සිටියේය.

දැනට දකුණේ පවතින දේශපාලන අස්ථාවර භාවය හේතුවෙන් එහි යම්කිසි ප්‍රමාදයක් ඇතිවී තිබෙන බවත්, කඩිනමින් එම හමුව පැවැත්වීමට කටයුතු සූදානම් කරන බවද හෙතෙම පවසා සිටියේය.

ජනාධිපතිවරයා සමඟ වූ සාකච්ඡාවේදී සාධනීය විසඳුමක් නොලැබෙන අවස්ථාවක දැවැන්ත මහජන අරගලයක් පැවැත්වීමට තමන් තීරණය කර ඇති බව කේප්පාපිලවු ජනතාව එහිදී පැවැසීය.

කේප්පාපිලවු ප්‍රදේශයේ ඉඩම් කොටසක් නිදහස් කර ඇති අතර, තම සියළු ඉඩම් නිදහස් කරන තෙක් දිගටම සත්‍යග්‍රහය පවත්වාගෙන යන බවට එම ජනතාව පවසා තිබීම විශේෂත්වයකි.