SRILANKAN NEWS

වඳ පෙති කතාව සම්බන්‍ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිවේදනය

මෑතකදී අම්පාරේ හෝටලයක ඇති වූ කලහය නිසා ‘වද පෙති’ සම්බන්දයෙන් මෑතකදී සමාජයේ මතුව ඇති සාකච්චාව ගැන සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

වන්ධ්‍යාකරණය සඳහා මේ දක්වා බටහිර වෛද්‍ය ක්‍රමයෙහි කිසිදු ඖෂධමය ක්‍රමයක් නැතැයි ද ඇති එකම ක්‍රමය ශල්‍යකර්මයක් කිරීම පමණකැයිද එම නිවේදනය මගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වාදී තිබේ..

මේ ගැන පැහැදිලි කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මෑතක සිදුවූ ඇතැමි සිදුවීම් වලින් පසු ‘වඳ පෙති‘ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයට විමසීම් ලැබී ඇත. මනුෂ්‍යයන් සම්බන්ධව සලකන විට වෛද්‍ය විද්‍යාත්මකව ‘වන්ධ්‍යාකරණය‘ වශයෙන් සැලකෙන්නේ ප්‍රජනක හැකියාව සදාකාලිකව අහිමි කිරීමයි.

ඇතැම් පුද්ගලයන්ට ප්‍රජනක හැකියාව ස්වභාවිකව නොමැති වන අවස්ථා ඇති අතර, ඒ සඳහා පවුල් සැලසුම් සේවාවන් වල ප්‍රතිකාර ලබා ගනිති. අනෙක් අතට තම පවුල සම්පූර්ණ කළ පුද්ගලයන් ඉදිරියට අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගැනීම සඳහා ස්ථිර ක්‍රමයක්, එනම් වන්ධ්‍යාකරණය සඳහා ඉල්ලුම් කළ හැක. ඉහත අවස්ථා දෙක සඳහාම මහජනතාවට අවශ්‍ය සේවාවන් ලබා දීමට පවුල් සැලසුම් සේවාවන් සංවිධානය වී ඇත.

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව වන්ධ්‍යාකරණය සඳහා වර්තමානයෙහි ඇති එකම ක්‍රමය ශල්‍යකර්මයකි. කාන්තාවන් සඳහා LRT සැත්කමද, පුරුෂයන් සඳහා වාසෙක්තමී සැත්කමද වේ. වන්ධ්‍යාකරණය සඳහා මේ දක්වා බටහිර වෛද්‍ය ක්‍රමයෙහි ඖෂධමය ක්‍රමයක් නොමැත.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්