SRILANKAN NEWS

කන්කසන්තුරේ ප්‍රදේශයේ පුද්ගලික නිවාස 50ක පොලිස් නිලධාරින් 111ක්

හමුදාව විසින් නැවත පදිංචිය සඳහා අවසර ලබාදුන් කන්කසන්තුරේ ප්‍රදේශයේ පුද්ගලික නිවාස පනහකදී පොලීසිය තවඳුරටත් රැඳී සිටින බවට උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

කයිතඩි ප්‍රදේශයේ පිහිටි උතුරු පළාත් මහ ඇමැති කාර්‍යාලයේදී අද (15) දින ආරක්‍ෂක අංශය හා මහ ඇමැතිවරයා අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් මහ ඇමැතිවරයා මේ බව පවසා තිබේ.

කන්කසන්තුරේ ප්‍රදේශයේ නිවාස 50කදී පොලිසියේ 111 දෙනෙකු තවඳුරටත් රැඳී සිටිනවා. 111 දෙනෙකුට නිවාස 50ක් වැඩියි. මේ සම්බන්‍ධයෙන් උතුරු පළාත් ශ්‍රේෂ්ඨ පොලිස් අධ්‍යක්‍ෂකවරයා සමඟ සාකච්ඡා කළා, එයට ඔහු පවසා සිටියේ කීරිමලයි මාර්ගයේ ඉඩමක් ලබා ගැනීමට කටයුතු කර ඇති බවත්, එම ඉඩම ලැබුණු පසු එහි ගොඩනැගිල්ලක් ඉදිකිරීමෙන් අනතුරුව අදාළ නිවාස යළි ජනතාවට ලබාදීමට පියවර ගන්නා බවට පොරොන්දුවුණා.

තවද යාපනය දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන රැසක් පුද්ගලික නිවාසල ක්‍රියාත්මක වන බව ද පෙන්වාදුන් අතර, පොලිස් ස්ථාන ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම් ලබා ගැනීම හා ගොඩනැගිළි ඉදිකිරීමේ දී පවතින ගැටළු හේතුවෙන් එම නිවාස ලබාදීමට නොහැකිවී ඇති බව ද උතුරු පළාත් ශ්‍රේෂ්ධ පොලිස් අධක්‍ෂකවරයා තමන් වෙත පවසා සිටි බව උතුරු පළාත් මහ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.