SRILANKAN NEWS

2017 අයවැය පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරයි –

ravi-slp-01අට වැනි පාර්ලිමෙන්තුවේ 2017 වසර සඳහා වූ අයවැය කෙටුම්පත මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට අද පස්වරුවේ ඉදිරිපත් කළේය. 2017 කාරක සභා අවස්ථාවේ සංශෝධන සඳහා යෝජනා 2016 නොවැම්බර් 15 මධ්‍යම රාත්‍රී 12.00 ට පෙර ලබාදිය යුතු බව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර, පාර්ලිමේන්තුව හෙට(11)පෙ.ව 9.30 දක්වා කල්තබා තිබේ.

මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු කර ඇත. භූමි තෙල් ලීටරයක් රුපියල් 05කින්ද, මුං ඇට රුපියල් – 15 කින්ද, පරිප්පු රුපියල් – 10 කින්ද, සුදු සීනි රුපියල් – 02 කින්ද, හාල් මැස්සෝ රුපියල් -05 කින්ද, අල රුපියල් – 05 කින්ද, ගෑස් සිලින්ඩර් රුපියල් 25කින්ද, දේශීය ටින් මාළු ග්‍රෑම් 425 රුපියල් 125යි ලෙසද, දේශීය කිරිපිටි ග්‍රෑම් 400 රුපියල් 250යි යන භාණ්ඩවල මිල අඩු කර තිබේ.

දිළිඳුකම දුරු කිරීම සඳහා 2017 වසරේ මුල සිටම වැඩසටහන් රැසක් සිදු කිරීමට බලා පොරොත්තු වන අතර, සියයට හතක ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව මුදල් ඇමැතිවරයා සඳහන් කරයි.

රබර් කර්මාන්තය වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 900ක්ද, ධීවර වරායවල්හි යටිතල පහසුකම් හා නැංගුරම් පහසුකම් වැඩි කිරීමට රුපියල් මිලියන 1350ක්ද, හම්බන්තොට, මඩකලපුව, යාපනය ඇතුළු වෙරළාසන්න දිස්ත්‍රික්ක 10ක ජීවනෝපාය වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 1200ක්ද, වැවක් සහිත ගමක් වැඩසටහන යටතේ ඒකාබද්ධ මිරිදිය ගම්මාන 100ක් සඳහා රුපියල් මිලියන 300ක්ද, පහළ මල්වතු ඔය වාරි ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 300ක්ද අයවැයෙන් මුදල් වෙන්කර තිබේ.

උතුරු නැගෙනහිර විවිධ ජනකොටස්වල සාමය හා සංහිඳියා වැඩසටහන සඳහා රුපියල් මිලියන 180ක්ද, කොළඹ නගරයේ විශේෂිත අත්කම් මධ්‍යස්ථාන ඇති කිරීමට රුපියල් මිලියන 100ක්ද, කුඩා වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 300ක්ද වෙන්කර ඇත.

තවද, හෙද පුහුණු පාසල් සඳහා මිලියන 200ක්ද , පාසල් 35000කට තොරතුරු තාක්ෂණ පහසුකම් සඳහා රුපියල් මිලියන 5000ක්ද, 2017 වසර අවසන් වන විට දිවයිනේ පාසල් 100ක් සඳහා ජල, විදුලි හා සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 5000ක්ද වෙන්කර තිබේ.

පිරිවෙන් සිසුන් සඳහා මාසිකව රුපියල් 2500ක් ලබා දීමටත් විශ්ව විද්‍යාලවල දේශන පවත්වන කාලය රාත්‍රී අට දක්වා දීර්ඝ කිරීමටත්, අවුරුදු පහේ සිට 19 දක්වා මිලියන 4.5ක පාසල් දරුවන්ට එක් දරුවකුට රුපියල් ලක්ෂ දෙකක් වන පරිදි රක්ෂණ ක්‍රමයක්ද, 2017 උසස් පෙළ පන්තිවලට ඇතුළු වන සිසුන් 175000කට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමට සහ ලංකාවේ අධ්‍යාපනය හැදෑරීමට කැමති විදෙස් සිසුන්ට පස් අවුරුදු වීසා ලබා දීමට යෝජනා කර තිබේ.