SRILANKAN NEWS

සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පොදු න්‍යාය පත්‍ර‍යක් අවශ්‍යයි- ජනපති

maithiri-මෛත්‍රීපාලඅද රටට අවශ්‍ය වන්නේ සමස්ත ශී‍්‍ර ලාංකිකයින් එක්ව රට ගොඩනැගීමේ ජාතික පොදු න්‍යාය පත‍්‍රයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජාතියේ අනාගතය පිළිබඳ න්‍යාය පත‍්‍රය එක් එක් අයගේ බලය සහ පෞද්ගලිකත්වය මුල්කරගත් දේශපාලන න්‍යාය පත‍්‍රවලින් යට නොකළ යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජනාධිපතිතුමා බව ප‍්‍රකාශ කළේ ඊයේ (13) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති “වින්ග්ස් 2016 අපේක්ෂාවේ පියාසැරිය” කලා උළෙලේ සමාප්ති උත්සවය අමතමනි.

සංහිඳියාවේ සහ ජාතික සමගියේ අවශ්‍යතාවය අඩු තක්සේරුවකට ලක්කළ නොහැකි බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා රට තුළ සංහිඳියාව ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ෆෙඩරල් සංහිඳියාවක් යැයි පවසමින් ඇතැමුන් එය අපහාසයට උපහාසයට ලක් කරන බවත් රටේ සහ ජාතියේ හෙට දවස මෙන්ම ජනතාවගේ අනාගතය සමග සෙල්ලම් නොකරන ලෙස තමා ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් කියා සිටියේය.

බලය ලබා ගැනීමට රටක් ඉතිරිවිය යුතු අතර රටේ හෙට දවස වෙනුවෙන් ජාතික සංහිඳියාව ගොඩනැඟිමට සියලුදෙනා එක්විය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

සංස්කෘතිය සහ කලාව ජාතික සංහිඳියා වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ඉතා වැදගත් සාධකයක් බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා සියලු ජන කොටස් අතර සමගිය, සහයෝගය සහ මිත‍්‍රත්වය ගොඩනැඟීමට එය ඉවහල්වන බව ද කියා සිටියේය.

ශී‍්‍ර ලංකාවේ ජාතික සමගිය සහ සංහිඳියාව ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය, ශී‍්‍ර ලංකා කලා මණ්ඩලය, යුරෝපා සංගමය, ජර්මන් සංවර්ධන සහයෝගීතාවය සහ ශී‍්‍ර ලංකාවේ කෙයා ආයතනයේ සම සංවිධානයෙන් සහ සම අනුග‍්‍රාහකත්වයෙන් මෙම කලා උළෙල සංවිධානය කර තිබුණි.