හිටපු ලේකම්වරයකුගේ විදෙස් දේපළ වත්කම් ගැන පරීක්‍ෂණ

investigation-1 පරීක්‍ෂණමහින්ද රාජපක්ෂ පාලන සමයේ අමාත්‍යාංශයක ලේකම් ධුරයක් දැරූ නිලධාරියෙකු අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 462කට අධික මුදලක් වැය කර ඕස්ට්‍රේලියාවේ විකටෝරියා ප්‍රාන්තයේ නිවාස සහිත ඉඩම් කැබලි හතරක් මිලදී ගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි වාර්තා වේ.

මෙම නිලධාරියා අමාත්‍යාංශ ලේකම් ධුරය දැරූ කාලයේදී අයථා ලෙස ඉපයූ මුදල් විශුද්ධිකරණයට ලක්කර ඇති බවට දූෂණ විරෝධී සංවිධාන විසින් පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට කරන ලද පැමිණිල්ලක් අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර තිබේ.

මොහු ඕස්ට්‍රේලියානු ඩොලර් තිස්පන් ලක්ෂයක අධික මුදලක් වැයකර සිය දියණිය, පුත්‍රයා සහ බෑණාගේ නමට 2008 සහ 2010 වසරවලදී මෙම නිවාස සහිත ඉඩම් මිලදී ගෙන ඇති බව පරීක්ෂණවලදී හෙලි වී ඇතැයි පැවසේ.

අයථා ලෙස උපයාගත් මුදලින් මෙම දේපළ මිලදී ගැනීම මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් වන හෙයින් මේ පිළිබඳව පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පැවසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top