SRILANKAN NEWS

මර්වින් සිල්වාට රුපියල් ලක්ෂ 4ක දඩයක්

මර්වින් සිල්වාමානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වැරදිකරු වන හිටපු ඇමති මර්වින් සිල්වා සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ හතරක වන්දියක් අගතියට පත් පාර්ශවයට ගෙවියයුතු යයි ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අසිත නානායක්‌කාර ලියනගේ නමැත්තාට මෙලෙස රුපියල් ලක්‍ෂ හතරක වන්දියක්‌ ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

2010 වසරේ එවකට ඇමතිවරයකු වූ මර්වින් සිල්වා මහතාගේ බලපෑම් මත කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් බැකෝ යන්ත්‍රයක්‌ උපයෝගී කර ගනිමින් කිසිදු සාධාරණ හේතුවක්‌ නොමැතිව සිය නිවසේ තාප්පය හා නිවසේ කොටසක්‌ කඩා දැමීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බව පෙන්වා දෙමින් අසිත නානායක්‌කාර නමැත්තා ගොනු කර තිබූ පෙත්සමක්‌ සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඊවා වනසුන්දර, අනිල් ගුණරත්න හා කේ. ටී. චිත්‍රසිරි යන ත්‍රිපුද්ගල විනිසුරු ම`ඩුල්ල මෙලෙස නියෝග කර තිබේ.

එම ක්‍රියාවට කිරිබත්ගොඩ පොලිසියේ එවකට ස්ථානාධිපතිවරයාගේ ද සහයෝගය ලැබුන බව පෙත්සම්කරු සඳහන් කර තිබේ. ඒ අනුව ඒ අනුව හිටපු ඇමති මර්වින් සිල්වා සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ හතරක් ද, කිරිබත්ගොඩ පොලිසියේ එවකට සිටි ස්ථානාධිපතිවරයා රුපියල් 50000 ක මුදලක්ද වන්දි වශයෙන් පෙත්සම්කරුට ගෙවිය යුතුව ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. එමෙන්ම රජය විසින් ද පෙත්සම්කරුට රුපියල් ලක්ෂයක් වන්දියක් ගෙවිය යුතු යයි නඩු තීන්දුවේ දැක්වෙයි.