SRILANKAN NEWS

මහින්ද රාජපක්ෂට හීන දකින්න අයිතියක් තිබෙනවා – නාමල් කරුණාරත්න

“මහින්ද රාජපක්ෂ මහතාට හීන දකින්න අයිතිය තිබෙනවා. අතන මෙතන ගිහිල්ල කරන ප්‍රකාශ තමා වටා සිටින පාක්ෂිකයින් සතුටු කිරීමට කරන ඒවා මිස වගකීමකින් රටේ හිටපු නායකයා විදිහට කරන ප්‍රකාශ නොවෙයි.” යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක හා වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි.

රජයේ වී තොග අලෙවිය සම්බන්ධයෙන් දඹුල්ල නගරයේ ඊයේ (30) පැවතී මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2017දී වත්මන් ආණ්ඩුව පෙරලා දමන බවට විදේශ මාධ්‍යවේදීන් ඉදිරියේ  කරන ලද  ප්‍රකාශය පිලිබදව මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරුදෙමින් මේ බව ප්‍රකාශ කළේ ය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාට 2017දී වත්මන් ආණ්ඩුව පෙරලා දැමීමට නම් පාර්ලි‌‌මේන්තුවේ බහුතර බලයක් ගන්න ඕන. එ කියන්නේ මන්ත්‍රීවරු 113ක් වත් හදාගන්න ඕන. ඔහුට අලුතෙන් මන්ත්‍රීවරු 75ක් හොයන්න ඕන. කොහොමද හොයා ගන්නේ. එහෙනම් මිලදී ගන්න ඕන පසුගිය කාලයේ කළා වගේ. හැබැයි එයා සහ එයාගේ පවුලේ අය විසින් පසුගිය කාලයේ විවිධ අයතා ක්‍රම මගින් උපයා ගත් ධනයෙන් එහෙම කරන්න හිතාගෙන ඉන්නවාද දන්නේ නැහැ. නැතිනම් ඡන්දයකට යන්න වෙනවා. ඡන්දයක් තියෙන්නේ 2020දි.

පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ කරගෙන ගියේ ඩිල් දේශපාලනයක්. පාර්ලි‌‌මේන්තුවේ වැදගත් අනපනත් සම්මත කරන විට ඒවා මග හැරියා. අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ නැහැ. පළාත් සභාවල අයවැයට තම හිතවතුන් හරහා සහයෝගය දැක්වුවා. එයාගේ උපක්‍රමය වී ඇත්තේ තමාට හා තම පවුලේ උදවියට එල්ල වී ඇති දුෂණ චෝදනා මග හැර යාමට කරන චුන් දේශපාලනයක්. මේ ප්‍රකාශ ජනතාව රැවටීමට කරන උපක්‍රමයක්.” යැයි වැඩි දුරටත් පැවසිය.”

– lankatruth