SRILANKAN NEWS

ජාතික ප්‍රශ්ණයට මෛත්‍රීගේ පාලනයේ විසඳුමක් නොලැබුණේ නම් කවදාවත් විසඳුමක් ලැබෙන්නේ නැහැ

ජාතික ප්‍රශ්ණයට විසඳුමක් මෙම ජනාධිපතිගේ පාලන සමයේ නොලැබුණේ නම් මින්පසු කවදාවත් මොන ආණ්ඩුව පැමිණියත් විසඳුමක් නොලැබෙන බව නැගෙනහිර පළාත් මහ ඇමැති හාෆිස් නසීර් අහ්මද් මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පැමිණ දෙවසරක් සපිරීම නිමිත්තෙන් මඩකළපුව දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගිවෙමින් මහ ඇමැතිවරයා මේ බව පවසා සිටියේය.

සුළු ජාතිකයන්ගේ අභිලාෂයන් ඉටුකරනු ඇති බවට විශ්වාසය මත දෙමළ හා මුස්ලිම් ජනතාව මෙරටේ යහපාලන රජය පිහිටුවා ඇත. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුර නැගෙනහිර පළාත් කෙරෙහි අවධානය යොමු කර සංවර්ධන කටයුතු රැසක් ක්‍රියාත්මක කර තිබීම ප්‍රසංශනීයයි. සුළු ජාතීන් මෙම මාතෘ භූමියේ නිදහසින් ජීවත්වීමට හැකි විසඳුමක් ජනාධිපතිවරයා විසින් ලබා දෙනු ඇති බවට අපි තවඳුරටත් විශ්වාස කරන බව මෙහිදී පැවැසිය යුතුයි.

ජාතිවාදය යළි රටේ හිස එසවීමට පටන්ගෙන තිබේ. මෙමඟින් සුළු ජාතීන් රජය කෙරෙහි අතෘප්තිය පෙන්වීමේ තත්වයක් ඇතිවී තිබේ. ජනාධිපතිවරයා මේ සම්බන්‍ධයෙන් අවධානය යොමු කර ජාතිවාදීන්ගේ ක්‍රියාකටයුතුවලට ඉඩ නොදී සුළු ජාතීන්ගේ ආරක්‍ෂාව හා නිදහසින් ජීවත්වීමට හැකි පරිසරය ද උදාකළ යුතු බව ඉල්ලා සිටින බව මහ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.