SRILANKAN NEWS

ජනතාව සූදානම් නම් බලය ලබාගැනීම ඉතාමත් ඉක්මනින් සිදු කළ හැක – මහින්ද

තමාගේ ධූර කාලයෙන් වසර දෙකක් ඉතිරිව තිබියදී නැවත ජනාධිපතිවරණයක් පැවැත්වූයේ ජාත්‍යන්තරයෙන් එල්ලවී තිබූ ප්‍රශ්නවලින් පැන යාමට නොවන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ට්වීටර් ගිණුම හරහා ඒ මහතාගෙන් ප්‍රශ්න විමසීමට අද(11) දිනයේ අවස්ථාවක් ලබා දී තිබුණි.

ජාත්‍යන්තර ආර්ථික අර්බුද හමුවේ ඔබ කලින්ම ජනාධිපතිවරණයක් කැඳවා ප්‍රශ්නයෙන් පළාගිය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ චෝදනා කළා? යනුවෙන් පුද්ගලයෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

එමෙන්ම ඉදිරියේදී සිය පාලන කාලයක් තුළදී යහපාලන රජය යටතේ වැරදි සිදු කළ පුද්ගලයින්ට ශ්‍රී ලංකාවේ පවතින නීති යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා සඳහන් කර තිබුණි.

වත්මන් රජය විසින් ස්ථාපිත කළ පොලිස් මූල්‍ය අපරාධ ඒකකය නීති විරෝධී ඒකකයක් බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ තම පාලනයක් තුළ පොලිස් මූල්‍ය අපරාධ ඒකකය නීතිමය ඒකකයක් බවට පත්කරන බවයි.

ජනතාව සූදානම් නම් බලය ලබාගැනීම ඉතාමත් ඉක්මනින් සිදු කළ හැකි බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

එමෙන්ම වත්මන් රජය ලබාගන්නා ණය ප්‍රමාණය අනුව රටේ සංවර්ධනයක් සිදු නොවන බව ඔහු පෙන්වා දී තිබේ.

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල් ට්‍රම්ප් ලොව අනෙක් රටවල ස්වාධීනත්වය රැක ගැනීමට උදව් කරාවි යැයි තමන් විශ්වාස කරන බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම තමාගේ පාලන කාලය තුළ තම පවුලේ පිරිස් බලයේ සිටීම සම්බන්ධයෙන් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දුන් ඒ මහතා කියා සිටියේ ඔවුන් සියල්ලන් බලයට පත් වුයේ ප්‍රජාතන්ත්‍රවාදීව බවයි.

තමා ඉදිරියේදී සාමූහික බලවේගයක් යටතේ ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන බවද ඒ මහතා ප්‍රකාශ කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාට යොමු කළ ප්‍රශ්නවලින් තෝරාගත් කොටසක් හා ඔහු එම ප්‍රශ්නවලට දුන් පිළිතුරු පහත පරිදි වේ.

ප්‍රශ්නය – ඔබට නැවත රටේ නායකත්වය ලැබුණහොත් අලුතෙන් මොනවාද කරන්නේ ?

පිළිතුර – කවුරුන් මේ රට පාලනය කළත් රටේත්, වත්මන් හා අනාගත පරම්පරාවලත්  යහපත වෙනුවෙන් නිවැරැදි දේ කළ යුතුයි.

ප්‍රශ්නය – මීළඟ ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයා වශයෙන් කටයුතු කළොත් පක්ෂ අනුශාසක වශයෙන් ඔබ ඔහුට සහයෝගය දෙනවාද ?

පිළිතුර – පක්ෂය ඒ අවස්ථාවේදී ගන්නා තීරණය අනුව මගේ ස්ථාවරයද වෙනස් වෙනවා.

ප්‍රශ්නය – හම්බන්තොට කර්මාන්ත පුරයට ඔබ විරුද්ධ වීම සම්බන්ධයෙන් චීන තානාපතිවරයා අසතුට පළ කළාද?

පිළිතුර – ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූ ආකාරය සම්බන්ධයෙන් සැලකිලිමත් වී තිබෙනවා.

ප්‍රශ්නය – හම්බන්තොට ඉඩම් විකුණනවාට විරුද්ධ ඔබ සාම්පූර් හි ඉඩම් විදේශිකයන්ට විකුණුවා නේද ?

පිළිතුර – සාම්පූර් සහ නොරෙච්චෝලේ ව්‍යාපෘති ශ්‍රී ලංකාව ආණ්ඩුවට අයත් ව්‍යාපෘති. සාම්පූර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තිබුණේ ඉන්දියාවෙන්. අපි කිසිඳු අවස්ථාවකට ඉඩම් විකුණුවේ නැහැ.

ප්‍රශ්නය – දේශපාලන වාසි සඳහා ස්වාමීන් වහන්සේලා යොදාගන්නා බවට චෝදනාවක් තිබෙනවා. මේ චෝදනාව සම්බන්ධයෙන් ඔබේ අදහස ?

පිළිතුර – රටේ අර්බුදයක් ඇති වූ සෑම අවස්ථාවකම ආගමික නායකයන් ඉදිරියට පැමිණියා. එයත් දේශපාලනයත් අතර කිසිඳු සම්බන්ධයක් නැහැ.

ප්‍රශ්නය – ඔබේ චීන සංචාරයේ අරමුණ කුමක් ද? ඔබ චීනයට දුන් පොරොන්දු මොනවාද ? චීනය ඔබෙන් මොනවාද ඉල්ලුවේ ?

පිළිතුර – චීනය සෑමවිටම අපේ මිත්‍රයෙක්. ඔවුන්ගේ සහයෝගය අපි අගය කරනවා. ජනතාව අවතැන් නොකරමින්, පරිසරයට හානි කරමින් මුල් ගිවිසුමට අනුව හම්බන්තොට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නැයි මං ඉල්ලා සිටියා.

ප්‍රශ්නය – විල්පත්තුවේ වන සංහාරයක් වන බවට චෝදනා එල්ල වෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක් ද ?

පිළිතුර – සංවර්ධනය හෝ යළි පදිංචි කිරීම පරිසරය විනාශ කිරීම කිසිසේත්ම නොකළ යුත්තක්.

ප්‍රශ්නය – ඔබේ  සහෝදරයෙක් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසෙනවා. එය ඇත්තක් ද ?

පිළිතුර – ව්‍යවස්ථානුකූලව සුදුසුකම් සපුරන ඕනෑම අයෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකියි.

ප්‍රශ්නය – පසුගිය ජනාධිපතිවරණයේදී පරාජයට පත්වීමට හේතු මොනවාදැයි හඳුනාගත්තා ද ?

පිළිතුර – ඔව්, හේතු රැසක් තිබෙනවා. අපි ඒ පිළිබඳ විශ්ලේෂණය කළා. අපි අනාගතයට සූදානම්.

ප්‍රශ්නය – ඔබ නැවත බලයට පැමිණීමට සූදානම් ද ? ඒ සඳහා පියවර ගන්නේ කවදාද ?

පිළිතුර – ජනතාව සූදානම් නම්, එය ඉතා ඉක්මනින් සිදුවේවි.

– sinhala.adaderana.lk-