නිදහස් රටක් ගොඩනැංවීම උදෙසා කැපවීම අප සැමගේ වගකීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (14)ට යෙදී ඇති තෛයිපොංගල් දිනය වෙනුවෙන් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් නිකුත් කළ සම්පූර්ණ සුබපැතුම් පණිවුඩය
පළමු අස්වනු මංගල්‍යය සැමරීමේ අරමුණින් චෝල රජ සමයේ ඇරඹුණු තෛපොංගල් උළෙල, දකුණු ඉන්දියාවේ දෙමළ ජනතාවට ආවේනික උත්සවයක් වූ නමුත් මේ වන විට ලොව පුරා වෙසෙන දෙමළ ජනතාව සිය ශක්ති ප්‍රමාණයෙන් සමරන සුවිශේෂ ආගමික, සංස්කෘතික මංගල්‍යයක් බවට පත්ව ඇත.
සූර්ය වන්දනාවට ප්රමුඛත්වයක් දෙන මෙම උත්සව දිනයේ සූර්ය උදාවත් සමඟ දමිළ ජනතාවට නව වසර උදා වේ. කෘෂිකාර්මික දිවි පෙවෙතට ආශිර්වාදයක් වෙමින් සරු අස්වැන්නක් ලබා දීමට ප්රමුඛ වූ සූර්යයා, වර්ෂාව, ගව මහීෂාදී සතුන් ඇතුළු සමස්ත සොබාදහමට තුති පිදීම මෙම ආගමික උත්සවයේ අරමුණයි.
සමානාත්මතාවයේ සහ කෘතවේදීත්වයේ අගය කියා පාන තෛංපාංගල් උත්සවය සංස්කෘතික, ආගමික විවිධත්වය අගයමින් මිනිස් සමාජය තුළ මෙන්ම සමස්ත පරිසරය සමඟද සංහිදියාවෙන් දිවිගෙවීමේ වැදගත්කම අපට සිහිගන්වයි.
වාර්ගික, ආගමික, සංස්කෘතික භේද ඉක්මවූ සාමකාමී, නිදහස් රටක් ගොඩනැංවීම උදෙසා කැපවීම අප සැමගේ වගකීම බව සිහිපත් කරමින්, තෛපොංගල් උත්සවය සමරන දමිළ ජනතාවට සාමය, සතුට පිරි සෞභාග්‍යමත් අනාගතයකට සුබ ප්‍රාර්ථනා කරමි.
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය
Add Comment