SRILANKAN NEWS

ගුණදාස අමරසේකරගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

Supreme courtදේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ගුණදාස අමරසේකර විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ සිදුවූ සිවිල් යුද්ධයේ අවසාන අදියරේදී සිදුවූයේ යැයි කියන යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් පිහිටුවීමට නියමිත අධිකරණ යාන්ත‍්‍රණයේදී විදේශ විනිසුරුවන් සහභාගී කර ගැනීම ගැන රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරන ලෙස රජයට නියෝග කරන මෙන් ඉල්ලා ගුණදාස අමරසේකර විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබුණි.

මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන්,අනිල් ගුණරත්න සහ ප‍්‍රියන්ත ජයවර්ධන මහත්වරු  හමුවේ සලකා බැලිණි.

යුද අපරාධ චෝදනා ගැන විමර්ශණය කිරීමට විදේශ විනිසුරුවරුන් සහභාගි කර ගැනීමට ශ්‍රී ලංකා රජය එකඟවූ බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී සුමන්දිරන් ප්‍රකාශ කර ඇති බවත්, රජය එම ප්‍රකාශය මෙතෙක් ප්‍රතික්‍ෂේප කර නොමැති හෙයින් රජය ඒ පිළිබඳ නිවැරදි තොරතුරු හෙළි කළ යුතු යැයි නියෝග කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා තිබුණි.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මේ සම්බන්‍ධයෙන් තොරතුරු හෙළි කරන ලෙස නියෝග කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට විරෝධය කළ රජයේ නීතිඥවරිය පෙන්වා දුන්නේ තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කොට තිබුණත් අදාළ පනත මෙතෙක් ක්‍රියාත්මක කොට නොමැති බවය.

තොරතුරු පනත බලාත්මක වන්නේ එම පනත කථානායකවරයා අත්සන් කර ඇති මාස හයකට පසුව බැවින් මෙවැනි සහනයක් ඉල්ලිය යුත්තේ ඉන් පසුව බවද අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ප්‍රකාශ කළ අතර, ඉකුත් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේය.