SRILANKAN NEWS

දේශපාලකයන්ගේ ප්‍රශ්ණ නිසා උතුරට එන මුදල් ආපසු හරවා යැවීමට සිදුවී ඇත – උතුරු පළාත් ආණ්ඩුකාර

දේශපාලකයන් අතර පවතින ප්‍රශ්ණ නිසා උතුරට එන මුදල් ආපසු හරවා යවන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

අද (17) දින සිවිල් ආරක්‍ෂක දෙපාර්තුමෙන්තුවේ මුල්ලතිව් සහ කිලිනොච්චිය මූලස්ථාන විසින් වට්ටකච්චිය ප්‍රදේශයේ පැවැත්වූ පොන්කල් උත්සවයට සහභාගිවෙමින් ආණ්ඩුකාරවරයා මේ බව පවසා සිටියේය.

දේශපාලකයන් අතර පවතින ප්‍රශ්ණ හේතුවෙන් උතුරු පළාත සඳහා එන මුදල් වියදම් නොකර ආපසු හරවා යැවීමට සිදුව තිබේ. විශේෂයෙන් ඉරණමඩු සිට යාපනය දක්වා පානීය ජලය ගෙන යාමේ ව්‍යාපෘතියට විශාල මුදලක් ලැබුණි. නමුත් කිසිවක් කළේ නැහැ, මාන්කුලම් ප්‍රදේශයේ ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට මුදල් වෙන්කර තිබුණි. එයට ද මුදල් ලැබුණු නමුත් කිසිඳු පියවරක් නොගැනීම හේතුවෙන් එම මුදලද ආපසු හරවා යැවීමට සිදුවුණි.

මතභේද නැතිව සියළු දෙනා එක්වී ජනතාවට සේවය කළ යුතුයි. මම ජාතිවාදී දේශපාලනයක් කරන්නේ නැහැ, අපි ජාති ආගම් භේදයකින් තොරව එක්වී කටයුතු කළේ නම් මෙම රට සංවර්ධනය කළ හැකිය.

අපගේ සියළු දෙවියන් දෙමළ, සිංහළ භේදයකින් තොරව එකමුතුවෙන් සිටිති. දේශපාලන නායකයන් ද දෙමළ සිංහළ භේදයකින් තොරව විවාහ කරගෙන එකට ජීවත්වෙති. අපි රණ්ඩු කිරීමට මෙහි කිසිම හේතුවක් නැහැ, අපි සියළු දෙනාම එකට එක්වී ක්‍රියා කළ යුතුයි.

හමුදාවත් අද අලුත්වැඩියා කටයුතුවල යෙදී සිටිනවා, දැන් සිටින හමුදාව යුද්දයක් සදහා වූ හමුදාවක් නොවේ සියළු දෙනාම එක්වී ක්‍රියා කළ යුතු යැයි ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පවසා සිටියේය.