මාලඹේ පිහිටි මුදලට වෛද්‍ය උපාධිය පිරිනමන සයිටම් පෞද්ගලික ආයනය වහාම අහෝසි කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පැවැත්වූ සිසු උද්ඝෝෂණයට පසුගිය 19වනදා සිදු කළ පහරදීම හෙළා දකිමින් ජාතික භික්ෂු පෙරමුණ ඊයේ (20) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ. එම භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ.
“සිසු හඬට ඇහුම්කන් දී මිස සිසුන්ට පහරදී හොර උපාධි කඩය වසා දමන්න බැහැ – අන්තරේ සිසු උද්ඝෝෂණයට කළ පහරදීම හෙළා දකිනවා.
රටේ සහ ජනතාවගේ අතිමහත් විරෝධයට ලක්ව ඇති මාළඹේ “හොර උපාධි කඩය” ලෙස නම් වී ඇති මුදලට වෛද්‍ය උපාධිය විකුණන සයිටම් ආයතනය වසා දමන ලෙස බලකරමින් ඊයේ (19) දින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මූලිකව සිදුකළ පාගමනට දෙමුහුන් ආණ්ඩුවට ඇති එකම විසඳුම වූ ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් කළ මර්දනය දැඩි පිළිකුළෙන් හෙළාදකින්නෙමු.
ආණ්ඩුවේ ප්රබලයන්ගේ හා හිතවතුන්ගේ දූ දරුවන් සහ ඥාතිවරුන් ඇතුළු එක්තරා පංතියක් සිය සමාජ තත්වය ආරක්ෂා කරගැනීමේ ආභරණයක් ලෙස අද මෙම ආයතනයෙන් වෛද්‍ය උපාධි ලබාගන්නා බව ඉතා පැහැදිලිය. ඔවුන් කිසිසේත් වෛද්‍ය උපාධියක් ලැබීමට සපුරාගත යුතු ලංකාවේ සම්මත සෙසු සුදුසුකම් කිසිවත් සපුරා නැති අතර මුදල් වියදම් කිරීමට ඇති හැකියාව පමණක් එකම සුදුසුකම බවට පත්කරගෙන ඇත.
සියල්ල විකුණාගෙන කෑමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සපුරාගැනීම තුළින් තම පංතියට හා පංතියේ හිතවතුන්ට ජාවාරම් කාරී ලෙස මුදල් ඉපයීමට ඉඩ ලබාදී ඇත. සයිටම් ආයතනයට නැගෙන මහජන විරෝධතා නොතකා ගොලුවන් බිහිරන් සේ ආණ්ඩුවේ බලවතුන් හැසිරෙන්නේ ඒ නිසාය. එපමණක් නොව ආන්දෝලනාත්මක මරණ කීපයක් පවා මේ වනවිට සිදුවී තිබියදී බලවතුන් මේ ගොලු වෘතය රකින්නේ ජනතාවගේ ජීවිතවලට වඩා ඔවුන්ට මුදල් වටිනා බැවිනි.
එහෙත් රටට ආදරය ඇති විශ්වවිද්‍යාල සිසුන්, වෛද්‍යවරුන්, කම්කරුවන්, දේශපාලනඥයින් ආගමික නායකයින් ඇතුළු සැම දිනෙන් දින ආණ්ඩුවේ විකූණාගෙන කෑමේ ප්‍රතිපත්තියට එරෙහිව නැගී එමින සිටියි.
සයිටම් ආයතනය සම්බන්ධයෙන්ද එය එසේමය. අන්තරේ ඊයේ සිදුකළේ එහි තවත් එක් පියවරකි. එම සියලු සිසු සිසුවියන් හා හිමිවරුන් එකාවන්ව රොදබැඳ ආණ්ඩුවේ මුග්ධ ප්‍රහාරය හමුවේ ධෛර්යයෙන කටයුතු කළ ආකාරය පිළිබඳ ජාතික භික්ෂු පෙරමුණ ඒ සැමට දිරිවඩන්නෙමු. සයිටම් ආයතනය අහෝසි කරන තෙක් ජනතාව තුළින් දිනෙන් දින නැගෙන විරෝධය කුළුගැන්විය යුතු බවද අවධාරණය කරන්නෙමු.”
Add Comment