MUSLIMS SRILANKAN NEWS

උතුරු මහ ඇමැති මුස්ලිම් ජනතාවට විරුද්ධව කටයුතු කරන්නෙකු නොවේ – උතුරු පළාත් මන්ත්‍රී රයිස්

උතුරු පළාත් මහ ඇමති සී. විග්නේෂ්වරන් මහතා උතුරු පළාතේ මුස්ලිම් ජනතාවට එරෙහිව කටයුතු කරන බවත්, මුස්ලිම්වරුන්ව ප්‍රතික්‍ෂේප කරමින් උතුරු පළාත් සභාවේ දේශපාලන කටයුතු සිදුකරන බවට ඇතමුන් විසින් සමාජ වෙබ් අඩවි සහ පුවත් වාර්තා මඟින් විමර්ශණය කිරීම උතුරු පළාත් සභා මන්ත්‍රී මුහම්මද් රයිස් මහතා ප්‍රතික්‍ෂේප කර තිබේ.

මේ සම්බන්‍ධයෙන් ඔහු පවසා සිටින්නේ, උතුරු පළාත් මහ ඇමැතිවරයා කිසිවිට මුස්ලිම් ජනතාවට විරුද්ධව කටයුතු කර නැහැ, ඔහු මුස්ලිම් ජනතාව ගැන වැඩි සැලකිල්ලකින් කටයුතු කිරීම සම්බන්‍ධයෙන් උදාහරණ රැසක් ඉදිරිපත් කළ හැකියි.

උතුරු පළාත් සභාව පත්කිරීමෙන් අනතුරුව ඉඩම් ඔප්පු වැඩි වශයෙන් මුස්ලිම් ජනතාවට ලබාදී තිබේ. විශේෂයෙන් වන්නි දිස්ත්‍රික්ක මුස්ලිම් ජනතාවට මෙලෙස ලබාදී තිබේ. ඒ අනුව, වව්නියාව සාලම්බයිකුලම් ප්‍රදේශයේ පවුල් 272කටද, සෙට්ටිකුලම්, සූඩුවෙන්දපුලවු, පාවට්කුලම් යන ප්‍රදේශවල පවුල් 133කටද, මන්නාරම මුසලි මරුදමඩු ප්‍රදේශයේ පවුල් 210කටද, වේප්පම්කුලම් ප්‍රදේශයේ පවුල් 348කටද, කරඩිකුලි ප්‍රදේශයේ පවුල් 424කටද, පාලයිකුලි ප්‍රදේශයේ පවුල් 238කටද, අනෙකුත් ප්‍රදේශයන් ද ඇතුලත්ව 3000කට අධික මුස්ලිම් පවුල්වලට සිය ඉඩම් ඔප්පු නැවත ලබා ගැනීම සඳහා උතුරු පළාත් සභාව ගත් ක්‍රියාමාර්ගය ගැන උතුරේ මුස්ලිම් ජනතාව ස්තුතිවන්ත විය යුතුයි.

තවද සංවර්ධන කටයුතුවලදී පසුගිය වසරේ මහ ඇමැතිවරයාගේ මුදල් වෙන්කිරීමක් මත මන්නාරම එරුකලම්පිටි මුස්ලිම් මහා විද්‍යාලයේ යටිතල පහසුකම් සඳහා රුපියල් කෝටියක මුදලක් වෙන්කර එහි වැඩකටයුතු ද ක්‍රියාත්මක වෙමින් පවතියි. තවද මහ ඇමැතිවරයාගේ උපදෙස් මත මාර්ග සංවර්ධනය සඳහා රුපියල් ලක්‍ෂ 60ක මුදලක් ද වෙන්කර තිබේ. ඒ සඳහා මෙම අවස්ථාවේ මහ ඇමැතිවරයාට ස්තූතිය පළ කරන්නෙමි.

තවද නැවැත පදිංචි වන ජනතාව සඳහා වූ නිවාස ව්‍යාපෘතියෙහි මුස්ලිම් ජනතාවට හිමි කොටස සාධාරණීයව ලබාදිය යුතු යැයි මහ ඇමැතිවරයාගේ නියෝගය අගය කර ප්‍රසංශා කරන්නෙමි. සුළු ජාතිකයන්ට දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීමේදී මුස්ලිම් ජනතාවද පිළිගත හැකි විසඳුමක් ඉදිරිපත් කළ යුතු බව මහ ඇමැතිවරයාගේ ස්ථාවරයවේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානය යන දැවැන්ත ජනතා බලවේග එක්වී ස්ථාපිත කර තිබෙන සහෝදර දේශපාලන ගමන ඉවසා ගැනීමට නොහැකිව, දෙමළ හා මුස්ලිම් සහෝදරත්වය කඩාකප්පල් කිරීම තුලින් සිය දේශපාලන පැවැත්ම පවත්වාගෙන යාමට තැත් කරන මධ්‍යම රජයේ අමාත්‍යවරයකු සහ ඔහුගේ පක්‍ෂයේ සාමාජිකයන් මෙලෙස උතුරු පළාත් මහ ඇමැතිවරයාට එරෙහිව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බව උතුරු පළාත් සභා මන්ත්‍රී මුහම්මද් රයිස් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

පසුගිය දින කිහිපයකට පෙර උතුරු පළාත් සභාවේ අයියූබ් අස්මින් සහ ජවාහිර් ජනූබර් යන මන්ත්‍රීවරුන් උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා උතුරේ මුස්ලිම් ජනතාවට කිසිඳු සේවයක් නොකර ඔවුන් නොසලකා හරින බවට ප්‍රසිද්ධියේ පවසා තිබීම විශේෂත්වයකි.