MUSLIMS SRILANKAN NEWS

මුස්ලිම්වරුන් 07 දෙනා ජාතික වීරයන් ලෙස ප්‍රකාශයට පත්කරන්නැයි ඉල්ලීමක්.

බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කළ කැරැල්ල නිසා 1804 වසරේ රාජ්‍ය ද්‍රෝහීන් ලෙස ප්‍රකාශයට පත්කළ මුස්ලිම්වරුන් හත් දෙනා, රටේ නිදහස වෙනුවෙන් සටන් කළ මුස්ලිම් නායකයන් ලෙස ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය ඇමැති එම්.ඒල්.ඒ.එම්. හිස්බුල්ලාහ් මහතා ලිපියක් යවා තිබේ.

1818 වසරේ කැරැල්ල මෙහෙය වූ කැප්පෙටිපොල අධිකාරම් ඇතුළු උඩරට නායකයන් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම් කොට බ්‍රිතාන්‍ය පාලනය විසින් 1818 වසරේ ජනවාරි 10 වනදා නිකුත් කරන ලද ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස අධිකරණ ඇමති විජයදාස රාජපක්‍ෂ මහතා කළ නිර්දේශයට අනුව උඩරට කැරැල්ලේ නායකයන් නිදහස් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සටන් වැදුණු වීරවරයන් ලෙස ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණි.

මෙවැනි තත්වයකදී බ්‍රිතාත්‍ය අධිරාජවාදීන් විසින් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස ප්‍රකාශයට පත්කළ මුස්ලිම්වරුන් හත් දෙනාවද ජාතික වීරයන් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස අමාත්‍ය හිස්බුල්ලාහ් මහතා ඉල්ලා තිබේ.

බ්‍රිතාන්‍ය අධිරාජවාදීන්ට එරෙහිව කැරැල්ලක් මෙහෙයවූ හේතුවෙන් 1804 ජූනි මස 4 වනදා මඩකළපු දිස්ත්‍රික්කයේ මුස්ලිම්වරුන් සිව් දෙනෙකු සහ ත්‍රිකුණාමලයේ පදිංචි මුස්ලිම්වරුන් තිදෙනෙකුව රාජ්‍ය ද්‍රොහීන් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණි.

මීරා ඔසන් අව්වක්කර් (රායිමූනයි), ඔසන් ලෙබ්බයි උදුමා ලෙබ්බයි (රායිමූනයි), අව්වක්කර ඊසා මුහාන්දිරම් (සම්මාන්තුරයි), අනීස් ලෙබ්බයි (මරුදමුනයි), සේගු තීති (තෝප්පූර්), සලම්පති උඩයාර් (කුච්චවෙලි), බීර් මුහම්මදු යන මුස්ලිම් ජාතිකයන් හත් දෙනා වසර 200 කට පමණ ඉහතදී නිකුත් කරන ලද ගැසට් පත්‍රය මගින් රාජ්‍ය ද්‍රොහීන් ලෙස නම් කරනු ලැබ තිබේ.

– ග්ලෝබල් දෙමළ පුවත් – සිංහළ