SRILANKAN NEWS

යාපනය සහ ඩෙල්ෆ් දූපත අතර අධිවේගී මගී බෝට්ටු සේවයක්

යාපනයේ වැසියන්ට ඩෙල්ෆ් දූපත දක්වා ගමන්කිරීම පහසු කිරීමේ අරමුණින් රුපියල් මිලියන 150 ක මුදලක වියදමින් යාපනයේ සිට ඩෙල්ෆ් දූපත දක්වා සෘජු මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කර තිබෙනවා.

‘නෙඩුන්තාරකෙයි’ මගී ප්‍රවාහන බෝට්ටුව ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 30 ක් ලෝක බැංකුවෙන්ද ඉතිරි මිලියන 120 ඕස්ට්‍රේලියානු රජය විසින්ද ලබා දී ඇත.

මේ වනතුරු යාපනයේ වැසියන්ට ඩෙල්ෆ් දූපත දක්වා ගමන් කිරීමට සෘජු බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක නොවූ අතර පෞද්ගලික සාමාන්‍ය බෝට්ටුවකට නාගදීපය හරහා ඩෙල්ෆ් දූපත වෙත ගමන් කිරීමට පැය හතරක කාලයක් ගත විණි.

ඒ ආකාරයෙන් දිනපතාම යාපනයේ සිට ඩෙල්ෆ් දූපත දක්වා ගමන් කළ රජයේ සේවකයන් පවසන්නේ සිය සේවා ස්ථානය වෙත ළඟාවන විට පෙරවරු දහයත් පසුවන බවයි.

එහෙත් මුහුදු සැතපුම් අටක් වූ මේ ගමන සදහා අළුතින් යොදවා ඇති සුඛෝපභෝගී හා අධිවේගී මගී ප්‍රවාහන බෝට්ටුවට ගත වන්නේ පැය දෙකක පමණ කාලයකි.

නව මගී ප්‍රවාහන සේවාව සඳහා යොදවන ලද බෝට්ටුව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සියළු පහසුකම් සහිතව නිෂ්පාදනය කොට ඇති බැවින් ශ්‍රී ලාංකික ජනතාවට ඉතා ආරක්ෂාකාරී බෝට්ටු ගමනක නිරත විය හැකි බව සිකුරාදා පැවති උත්සවයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සිටින ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රයිස් හචෙස්සන් සඳහන් කළේය.

වරකට 80 ත් 100ත් අතර මගීන් පිරිසකට ඉතා සාධාරණ මුදලකට ඩෙල්ෆ් දුපත දක්වා ගමන් කිරීමට ආරක්ෂිත නව බෝට්ටු සේවාවක් ලබාදීමට හැකිවීම උතුරු පළාත් සභාව ලද ජයග්‍රගණයක් වශයෙනුයි එය උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේස්වරන් විසින් හඳුන්වා දෙනු ලැබුවේ.

ඩෙල්ෆ් පමණක් නොව යාපනයේ නාගදීපය, අනලතිව්, එළුවතීව් යන දූපත් වල වෙසෙන ජනතාවට ඉතා හදිසි අවස්ථාවලදී මෙම බෝට්ටු සේවාවෙන් ප්‍රයෝජන ලබාගැනීමට හැකියාව ලැබීම ඉතා වැදගත් බව වනිතා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී විජයකළා මහේස්වරන් උත්සවය අමතමින් සඳහන් කළාය.

පළාත් පාලන හා පළාත් සභා කටයුතු පිළිබද අමාත්‍ය ෆයිසර් මුස්තාපා, දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ උතුරු පළාත් සභාවේ දේශපාලනඥයින්ද උත්සවයට සහභාගි වී සිටියහ.