SRILANKAN NEWS

යාපනය අර්ධද්වීපයේ පාසල්වල ඩෙංගු මර්ධනයට හමුදාවේ සහය

සීග්‍රයෙන් වර්ධනය වන යාපන අර්ධද්වීපයේ ඩෙංගු රෝගය පැතිරීම මර්ධනය කිරීම සඳහා සතියක් පුරා ක්‍රියාත්මක කරන ලද ඩෙංගු මර්ධන වැඩසටහනක් යාපන ආරක්‍ෂක සේනා මුලස්ථානය මගින් ක්‍රියාත්මක කරන ලද බව යුධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.

ඒ අනුව යාපනය අර්ධද්විපයේ 51, 52 සහ 55 යන සේනාංක මුලස්ථාන වලට අයත් බල ප්‍රදේශ වල ග්‍රාමීය පාසල් 143ක වෙන් වෙන් වශයෙන් ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යුධ හමුදාව කටයුතු කර ඇති අතර ඒ වෙනුවෙන් එම සේනාංක වලට අයත් නිළධාරින් සහ සෙසු නිලයින් 1000 කට වැඩි පිරිසක් සහභාග වී ඇත. නල්ලුරු, තෙන්මාරච්චි, වඩමාරච්චි නැගෙනහිර, වඩමාරච්චි උතුර, වඩමාරච්චි නිරිත, වලිකාමම් නැගෙනහිර, වලිකාමම් උතුර, වලිකාමම් දකුණ සහ වලිකාමම් නිරිත යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අයත් ග්‍රාමීය පාසල් ආවරණය වන පරිදි මෙම වැඩසටහන පැවැත් වූ අතර, ඒ සඳහා සිසුන්, ගුරු දෙගුරුන් සහ එම ප්‍රදේශවාසීන් සිය සහයෝගය දක්වා ඇති බව එම පුවත වැඩි දුරටත් සඳහන් කරයි.

ඩෙංගු ආශ්‍රිත මරණ සහ ඩෙංගු රෝගීන් ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් ප්‍රාදේශීය පරිපාලන නිලධාරින් අධ්‍යාපන නිලධාරින් සහ සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ගේ සහාය ඇතිව ආරක්‍ෂක හමුදා සාමාජිකයින් මෙයට පෙරද මෙවැනි වැඩසටහනක් (ජන 7-8) ක්‍රියාත්මකකොට යාපන අර්ධ ද්වීපයේ පාසැල් 67ක ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කොට ඇත.