ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් වඩා අපේ තාත්තා ධනපතියෙක් – නාමල් රාජපක්‍ෂ

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් වඩා තම පියා වත්මන් ආණ්ඩුව විසින් ධනපතියෙකු ලෙස නම්කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක‍්ෂ මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතාගේ ගිණුම්වල ඩොලර් බිලයන 18ක් තිබුණු බවට මීට පෙර පැවසුවද පෙරේදා වනවිට එය ඩොලර් බිලයනයක් දක්වා අඩුවී එම ගිණුම පියාගෙන් තමාගේ නමට හරවා ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.
ඔහු මෙම අදහස් පළ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක‍්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට විසින් රචිත ” මාගේ කටඋත්තරය”  ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙලට ඊයේ (07) පස්වරුවේ එක්වෙමිනි.
මෙහිදී අදහස් දක්වමින් ඔහු තව දුරටත් කියා සිටියේ පසුගිය වසර දෙක තුළදී තමන් වැඩිපුරම සිටියේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සහ බන්ධනාගාරයේ බවයි. යෝෂිත රාජපක්ෂ මහතා සහ රොහාන් වැලිවිට මහතා ඇතුළු කණ්ඩායම රක්ෂිත බන්ධනාගාරයේ සිටි දින 45න් 40 ක්ම ඔවුන් හමුවීමට තමන් ගිය බවත්, ඊට අමතරව ස්වාමීන් වහන්සේලා සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බන්ධනාගාරයේ සිටි සෑම අවස්ථාවකදීම ඔවුන් හමුවීමට ගිය බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
කෙසේ වෙතත් උත්සව සභාව අමතමින් නාමල් රාජපක්ෂ මහතා තජුඩීන්ගේ නඩුව සම්බන්ධව අධිකරණය නොදන්නා තීන්දු විස්තර, චීන තානාපති නොදන්නා කරුණු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දන්නා බව ද අනාවරණය කළේය.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතාද එක්ව සිටි අතර උත්සවයෙන් පසු මාධ්‍යවේදීන් කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් මහින්ද රාජපක‍ෂ මහතාගෙන් විමසා සිටියේය.
එහිදී පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ කැබිනට් සංශෝධන වූවා කියා රටේ ප්‍රශ්න විසඳෙන්නේ නොමැති බවයි.

– අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top