SRILANKAN NEWS

ශ්‍රී ලංකාවේ සංවර්ධනය කටයුතුවලට ඔස්ට්‍රෙලියාවේ සහාය

ඉන්දීය සාගරයේ ආර්ථික හා මුල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් වීමේ ප්‍රයත්නය සාර්ථක කර ගැනීම උදෙසා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහය ලබා දීමටත්, දෙරට අතර ආර්ථික, දේශපාලන හා සමාජයීය සබඳතා තව තවත් පුළුල් හා ශක්තිමත් කරලීමේ නව ප්‍රවේශයන් කරා එළැඹිමටත් ක්‍රියා කරන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් (Hon. Malcolm Turnbull) මහතා පවසයි.

ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පාර්ලිමේන්තු මන්දිරයේ දී අද (15) දින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස හමුවූ අවස්ථාවේ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා මේ බව පවසා තිබේ.

ආර්ථික වර්ධනය කරලීම සහ ජාතික සමගිය හා සංහිදියාව ඇති කරලීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් යටතේ ශ්‍රී ලංකාව නව මාවතකට ප්‍රවේශ වී තිබීම සහ මිනිස් ජාවාරම් වැළැක්වීම හා නිති විරෝධී සංක්‍රමණයන්ට වැට බැඳීම උදෙසා ශ්‍රී ලංකාව නිරතුරුවම ලබා දෙන සහයෝගයට අග්‍රාමාත්‍ය ටර්න්බුල් මහතා එහිදී ප්‍රසාදය පළ කර තිබේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් පිහිටා ඇති ස්ථාන හඳුනාගැනීමේ සමීක්‍ෂණයක් පැවත්වීමටත්, එය පදනම් කර ගනිමින් ඛනිජ සම්පත් සිතියමක් සැකසීමටත් සහය ලබා දෙන බව ඔස්ට්‍රේලියානු ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් සමීක්ෂණයට ඔස්ට්‍රේලියා සහයකර්මාන්ත, නවෝත්පාදන සහ විද්‍යා අමාත්‍ය ආතර් සිනොඩිනොස් (Hon. Arthur Sinodinos) මහතා පවසා තිබේ.

අමාත්‍ය සිනොඩිනස් මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස අතර ද්විපාර්ශවික සාකච්ඡා 15 වන දා පෙරවරුවේ කැන්බරා නුවර පාර්ලිමේන්තු මන්දිරයේ දී පැවති අවස්ථාවේ ශ්‍රී ලංකා පාර්ශවයෙන් කෙරුණු ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් එසේ පැවසූ සිනොඩිනස් මහතා නවෝත්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය විද්‍යාත්මක දැනුම ලබා දීමට ද තමන් සූදානම් බව ද ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.