යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම විය යුතු වුවත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුව මේ මොහොතේ ඊට වැඩි ප්‍රමුඛතාව පළ කළ යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
පසුගිය දා ශ්‍රී ලංකාවේ සිටින විදේශීය මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් සමඟ අදහස් දක්වමින් ඒ බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරිය, මේ මොහොතේ යුද අපරාධ පිළිබඳ අධිකරණ පරීක්ෂණ ආරම්භ කළහොත් එය නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කාර්යයට පැහැදිලිවම බාධාවක් වනු ඇති බවත් සඳහන් කළාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද යන්න පිළිබඳව විවිධ මතවාද පවතින නමුත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැප වී සිටින බව ඇය පවසයි. නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම පිණිස ජනමත විචාරණයක් අත්‍යවශ්‍ය නමුත්, රටේ පවතින වාතාවරණය සලකා බැලීමේ දී ජනමත විචාරණයකින් ජයගත හැකිද යන්න පිළිබඳව බොහෝ දෙනා සැකසහිත ආකල්පයක් දරන බව ඇය පෙන්වා දෙයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමේ දී සිය පාලන සමයේදීට වඩා වත්මන් ආණ්ඩුවට බොහෝ අභියෝගවලට මුහුණදීමට සිදු වී තිබෙන බවත් හිටපු ජනාධිපතිනිය මෙහි දී සඳහන් කළාය.
“මගේ පාලනය කාලේ සංවිධානාත්මක අන්තවාදී කණ්ඩායම් තිබුණේ නෑ. ජාතික හෙළ උරුමය, බොදු බල සේනා, හිටපු ජනාධිපතිවරයෙක් නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂය මේ සේරම ළඟ දි මතු වුණේ. ඒක පැහැදිලිවම ලොකු අභියෝගයක්.” යනුවෙන් ඇය පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධ පරීක්ෂණ පිළිබඳව විදේශීය මාධ්‍යවේදිනියක විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිනිය කියා සිටියේ, ඒ පිළිබඳව උතුරු නැඟෙනහිර පළාත්වල වෙසෙන ජනතාවගේ වැඩි අවධානයක් නොමැති බවයි.
– ඩී. මංජුල කුමාර
Add Comment