පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ විදුලිය සුරකින්න වීදි ලාම්පු දල්වා තබන කාලසීමාව පැයකින් අවම කරන්න ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉල්ලා සිටි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (20) පෙරවරුවේ කෑගල්ල කච්චේරියේ පැවති සංවර්ධන කමිටු රැස්වීමකට සහභාගි වෙමිනි.
“මේ පවතින කාලගුණික තත්ත්වය මේ මට්ටමෙන්ම පැවතුණොත් ජල විදුලි නිෂ්පාදනයට විශාල අභියෝගයකට මුහුණ දෙන්න සිදුවෙනවා. නමුත් ඒ ආකාරයෙන් ජලයෙන් විදුලිය නිපදවන්න බැරි වුණත් මහජනතාවට අඛණ්ඩව විදුලිය සපයන්න අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ සඳහා විශාල වියදමක් දරන්න වෙනවා. විදුලිබල මණ්ඩලයෙන් නෙමෙයි මහා භාණ්ඩාගාරයෙන් තමයි මේ වියදම දරන්න වෙන්නේ. ඒ කියන්නේ අපි හැමදෙනාටම ඒ වියදම බෙදී යනවා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේ පවතින තත්ත්වයෙන් ගොඩඒමට නම්, විදුලිය ඉතිරි කරන්න කියලා. අවම වශයෙන් මෙගාවොට් 50ක් ඉතිරි කරගන්න පුළුවන් වුණොත් ඒක විශාල ජයග්‍රහණයක්. මේ රටේ වීදිලාම්පු ලක්ෂ දහයක ප්‍රමාණයක් පවතිනවා. මේ වීදි ලාම්පු දල්වා තබන වේලාවන් සවස සහ උදේ වරුවෙන් පැය 1/2 බැගින් අඩුකරගන්න පුළුවන්නම්, මේ පවතින කාලගුණික තත්ත්වය හමුවේ විදුලිබල ක්ෂේත්රයට එය විශාල සහනයක්” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
Add Comment