අගමැතිගේ ශිව රාත්‍රී සුබාශිංසන පණිවිඩය

“ශිව දෙවියන්ට අතිශය ප්‍රිය වූ රාත්‍රිය මහා ශිව රාත්‍රිය ලෙස සැලකේ. මහා ශිව රාත්‍රී උත්සවය පවුලේ සියල්ලන්, ඥාති හිතමිත්‍රාදීන්, අසල්වාසීන් සමඟ එක්සත්ව, එක්සිත්ව ප්‍රීතිමත් සිතින් සැමරීම හින්දු බැතිමතුන්ගේ සිරිතකි.

මෙම උත්සව දිනයේදී උපවාසයට, භාවනාවට සහ ශිව දෙවියන් නැමදීමට ප්‍රමුඛ අවධානය යොමු වන අතර, ශිව රාත්‍රිය පුරා නිදිවර්ජිතව පුණ්‍ය ක්‍රියාවල නියැළෙමින්, අර්ථවත්ව ගත කිරීමෙන් අධ්‍යාත්මික විමුක්තිය ලැබෙන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි. ශිව දෙවියන්ගේ නර්තනය සිදු වූ දිනය ලෙස ද සැලකෙන මහා ශිව රාත්‍රියේ දී හින්දු සංස්කෘතික, කලා අංගයන්ට සුවිශේෂ ඉඩක් වෙන් කෙරේ.

ආගමික චින්තනය, සාහිත්‍ය, කලාව ආදී සෑම අංශයකම ඒකාත්මිකභාවයෙන්, සාමූහිකත්වය, සහජීවනය තුළ අධ්‍යාත්මික විමුක්තිය අපේක්ෂා කරන මහා ශිව රාත්‍රී දිනය හින්දු බැතිමතුන්ට මෙන්ම සමස්ත ජනතාවට අර්ථවත් ජීවිතයකට මඟ පෙන්වන්නකි.

ලෝකවාසී සමස්ත හින්දු ජනතාවට අර්ථපූර්ණ මහා ශිව රාත්‍රී දිනයක් උදා වේවා හෘදයාංගමව ප්‍රාර්ථනය කරමි.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top