SRILANKAN NEWS

විග්නේශ්වරන්ට එල්ල වුනු දූෂණ චෝදනා ගැන සොයන්න කමිටුවක්

CV.Vigneswaran_CIඋතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේශ්වරන් ඇතුළු සෙසු අමාත්‍යවරු සිව් දෙනාටම එල්ල වී ඇති දූෂණ සහ වංචා පිළිබඳව සොයා බැලීමට හතර දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට උතුරු පළාත් සභාව ඊයේ (16) පියවර ගෙන තිබේ.

ඊයේ පළාත් සභා රැස්වීම ආරම්භ වූ අවස්ථාවේදී ඇමතිවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විය යුතු යැයි ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේශ්වරන් කළ යෝජනාව සැලකිල්ලට ගනිමින් සභාවේ විවාදයක් ඇරඹුණි.

කෙසේ වෙතත් බොහෝ මන්ත්‍රීවරු පෙන්වා දෙනු ලැබුවේ ප්‍රධාන අමාත්‍යවරයා ද අමාත්‍යංශ කීපයක් නියෝජනය කරන බැවින් විවාදයකට වඩා එල්ල වන චෝදනා පිළිබදව සොයා බැලීමට කමිටුවක් පත් කොට ඉන් ලැබෙන වාර්තාව ඇසුරින් පරීක්ෂණ පැවැත්වීම උචිත බවයි.

ලිඛිත සහ වාචික චෝදනා

අමාත්‍ය සී වී විග්නේශ්වරන් මෙම යෝජනාවට මුලින් සිය විරෝධය පළ කළත් පසුව කමිටුවක් පත් කිරීමට එකඟ වී තිබේ.

ඒ අනුව විශ්‍රාමලත් විනිසුරුවරයෙකු ප්‍රමුඛ හතර දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට සභාව සමත් විය.

උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේශ්වරන් ඇතුළු අමාත්‍යවරුන් හතර දෙනාටම මහජනතාවගෙන් ලිඛිතව සහ වාචිකව චෝදනා රැසක් එල්ල වී ඇති අතර ඉන් බොහොමයක් මුදල් වංචා සහ අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් පැමිණිලි බවයි වාර්තා වෙන්නේ.

– BBC Sinhala