SPORTS

වොන් – මුරලි කුසලාන ටෙස් තරඟවාලිය 3-0ක් ලෙස ජය ගැනීමට ලංකාව සමත්වෙයි..

SLvsAUSටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ඔස්ට්‍රේලියාවට එරෙහිව 3ට 0ක් ලෙස  ටෙස්ට් තරඟාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය.

කොළඹ එස්.එස්.සී. පිටියේ පැවති වොන් – මුරලි කුසලානය තෙවන ටෙස්ට් තරගය ලකුණු 163කින් ජය ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව වසර 17කට පසුව ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් මෙලෙස ජයග්‍රහණය කර තිබේ.

මෙම තරගයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලු  දෙනා දැවී ලකුණු 355ක් රැස් කළ අතර, ඔස්ට්‍රෙලියාව ලකුණු 379ක් රැස් කළහ. දෙවන ඉනිමේ දී කඩුලු 8ක් දැවී ලකුණු 347ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය. දෙවන ඉනිමේදී ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට ලකුණු 324ක ඉලක්කයක් ලබා දෙන ලදී.

කෙසේ නමුත් තරගයේ අවසන් දිනය වූ අද දින ඔස්ට්‍රෙලියාවට සියළු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 160ක් පමණි. රංගන හේරත් ලකුණු 64ට කඩුළු 7ක් දවාගත් අතර ඔහු මෙම තරඟයේදී කඩුළු 13ක්ද, සමස්ත තරඟාවලියේදී ඔහු විසින් බිඳ දැමූ කඩුළු ගණන 28කි.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජය ගත්තේ, 1999 වසරේදී ය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3ට 0ක් ලෙස ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව මෙය වේ.

ටෙස්ට් ක්‍රිකට් ඉතිසායසේ ශ්‍රී ලංකා කණ්ඩායම පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණ තුනක් වාර්තා කර ඇති අතර ඒ බංග්ලාදේශය, පාකිස්තානය හා කොදෙව්වන්ට එරෙහිවය. මේ ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් පළමු පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය මෙන්ම ශ්‍රී ලංකාව ලබාගත් සිව්වැනි පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයද වෙයි.