SRILANKAN NEWS

බෑණව බැලීමට ලක්‍ෂ හතරක් දුන්නා, අද වනතෙක් තොරතුරක් නැහැ – ඉලම්පරිදිගේ නැන්දම්මා සත්‍යදේවි

බෑණව දැක බලා ගැනීමට රුපියල් ලක්‍ෂ හතරක් දුන්නා නමුත් අද වන තෙක් ඔහුව දැක්කේ නැහැ, මුදල් ලබාගත් අය ඔහු පෙන්නුවේ නැහැ, ඔවුන්ද මෙහි සිටිනවා යැයි කොටි සංවිධානයේ යාපනය දිස්ත්‍රික්ක දේශපාලන අංශ භාරව කටයුතු කළ ඉලම්පරිදි (ආන්චි) නැමැත්තාගේ නැන්දම්මා වන තංගවේල් සත්‍යදේවි (වයස 69) පවසා තිබේ.

කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල් පරිශ්‍රයදී අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් අදට 22වන දිනටත් පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාරයට එක්වෙමින් ඇය මේ බව පවසා තිබේ.

‘ඔයාලගේ බෑණා ආන්චිව නිදහස් කර ගැනීමට නම් රුපියල් ලක්‍ෂ 20ක් වියදම් කළ යුතුයි, (ඔහු දැන් විස්වමඩු ප්‍රදේශයේ සිටිනවා) උසසි මට්ටමේ නිළධාරින් සමඟ කතා කළ යුතුයි. ආන්චි රහස්ගත ස්ථානයක සිටින බව ඔහු පවසා සිටියා,

විස්සක් නෙමෙයි අවශ්‍ය මුදලක් ලබා දෙන්නම් මගේ දුව, බෑණා සහ දරුවන් සිටින්නේ කොහෙදැයි පෙන්වන්න යැයි මම ඉල්ලා සිටියා, එයට ඔහු යළි බලන්නටත් රුපියල් ලක්‍ෂ හතරක් පමණ වියදම් කළ යුතු බව පවසා සිටියේය.

මම 2009-09-19 වන දින පෞද්ගලික බැංකුවක මා සමඟ සම්බන්‍ධවූ පුද්ගලයා සඳහන් කළ වෙනත් පුද්ගලයකුගේ ගිණුමකට රුපියල් ලක්‍ෂ හතරක මුදලක් තැන්පත් කළා, ඒ සඳහා වූ බැංකු රසිට් පතද මා ළඟ තිබෙනවා, ඉන්පසු ඔවුන් මාව ත්‍රිකුණාමලයට එන්නැයි පවසා සිටි අතර, අපි එහි ගිය නමුත් ඔවුන් පැවැසූ පරිදි කිසිවක් සිදුවුයේ නැහැ, අපිව රවටා ඇති බව වැටහුනේ ඉන් පසුව බව සත්‍යදේවි පවසා සිටියාය.

2009-05-18 දින වට්ටුවාකල් හරහා සෙල්වම්පුරම්වලට මම මගේ දුව මහාලිංගම් සිවාජිනි, බෑණා සින්නතම්බි මහාලිංගම් (ඉලම්පරිදි, ආන්චි) මුනුපුරු මිනිපිරියන් වන ම. මකිලිනි (10), ම. තලිලොලි (08), එලිලිනි (03) යන හය දෙනාම හමුදා පාලන ප්‍රදේශයට පැමිණිමෙන් පසු හමුදා සෙබළකු පැමිණ අම්මා දැන් ඔයා යන්න, අපි මෙයාලගෙන් විභාග කරලා එවන්නම් යැයි පැවැසූ බව සත්‍යදේවි වැඩිදුරටත් පවසා සිටියාය.