SRILANKAN NEWS

යුද අපරාධ පිළිබඳ වගකීම දෙමළ ජාතික සන්ධානය භාරගත යුතුයි – ගෝඨාබය රාජපක්‍ෂ

යුද අපරාධ පිළිබඳ වගකීම දෙමළ ජාතික සන්ධානය භාරගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (13) කොළඹ, සම්බුද්ධ ජයන්ති මන්දිරයේ දී පැවති “රණවිරුන්ගේ විත්ති වාචිකය” නම් වාර්තාව එළිදැක්වුණු අවස්ථාවට සහභාගිවෙමින් හිටපු ආරක්‍ෂක ලේකම් මේ බව පවසා තිබේ.

යුද්දය පැවැති කාලයේ සිදුකළ මානුෂික මෙහෙයුම් ගැන වාර්තාව සකසා ඇති බවත්, රජය මෙම වාර්තාවෙන් ප්‍රයෝජනයක් ගනු ඇතැයි නොදන්නා බව පැවැසූ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මෙම වාර්තාව ඉදිරිපත් කර රජයට ජාත්‍යන්තර ප්‍රජාවට පැහැදිළි පිළිතුරක් ලබාදිය හැකි බවද පවසා තිබේ.

පවතින සාක්ෂී සහ වාර්තා උපයෝගි කරගනිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අපගේ රණ විරුවන් නිවැරදි බවට පැහැදිලි පිළිතුරක් ලබාදිය හැකි නමුත් එම වගකීම ආණ්ඩුව විසින් මෙතෙක් ඉටුකර නොමැති බව හිටපු ආරක්ෂක ලේකම්වරයා වැඩි දුරටත් සදහන් කරන ලදී.

අද වන විට ටී.එන්.ඒ සංවිධානය සමග සිටින්නේ එදා එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටිය උදවිය බවත්, යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා නඟන්නේ ද එවැනි පුද්ගලයින් විසින් බව සිහිපත් කළ හිටපු ආරක්ෂක ලේකම්වරයා, එංගලන්තයේ අග්‍රාමාත්‍යවරිය තම රණවිරුවන් සම්බන්ධයෙන් යුද අපරාධ චෝදනා එල්ල නොකරන බව ප්‍රසිද්ධියේ පවසා ඇති බවත්, ඒ ආකාරයෙන් තමන්ගේ රටේ රණවිරුවන් ආරක්ෂා කරන ඔවුන් මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වීම් සිදුකරන බව, අවධාරණය කර තිබේ.