SRILANKAN NEWS

කමල් ගුණරත්න තම ග්‍රන්ථයෙන් යුද අපරාධ සනාථ කරලා

යුද අපරාධ සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන් විසින් නම් කොට ඇති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් තම අත්දැකීම් ලියා ඇති ග්‍රන්ථයෙන් ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා සනාථ වන බව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් ප්‍රකාශයට පත් කොට ඇති ‘රණමඟ ඔස්සේ නන්දිකඩාල්’ නම් පොතේ ඉංග්‍රීසි පිටපතකින් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් උපුටා දක්වන ලද කොටස්වලින් හෙළි වුණේ යුද හමුදා භටයන් නිරායුධ වැසියන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ ආකාරය ය.

යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ සිට නගරය දෙසට ගිය හමුදා සෙබළුන් පිරිසක් “තම සටන් සගයාගේ මරණයට එරෙහිව පළිගැනීම සඳහා පෞද්ගලික දේපළ විනාශ කරමින් නීති විරෝධී අයුරින් හැසිරෙන ආකාරය දැකීම මට තෘප්තියක් ගෙන දුන් බව පිළිගනිමි” යි මේජර් ජෙනරාල් ලියා තිබෙනු අමාත්‍යවරයා විසින් උපුටා දක්වන ලදී.

යුද හමුදා සෙබළුන් විසින් නිවාස සහ පෞද්ගලික දේපළ ගිනි තබනු බලා සිටි ආකාරය සම්බන්ධයෙන් කමල් ගුණරත්න ලියා ඇත්තේ, “ආපසු හැරී බලන විට කිසිවකු මේ සම්බන්ධයෙන් වහාම පියවරක් නොගැනීම ගැන මට ලජ්ජා සිතුණි” යි යනුවෙනි.

“මේ යකාත් බලන් ඉඳල දැන් කියනවා ලජ්ජා හිතුනයි කියලා” යි අමාත්‍යවරයා කියා සිටියේය. හමුදා නිලධාරියා විසින් හෙළි කරන කාරණා සිදු වූ බව පිළිගැනීමට සිදු වන බව ඔහු මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේය.

එමෙන්ම මේ වන විටත් මෙම කෘතියේ ඇති යුද අපරාධ සම්බන්ධව ලියැවී ඇති පිටුවල පිටපත් යුරෝපයේ දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් විසින් බෙදාහරිමින් තිබෙන බවත් වාර්තා වේ.

– ඩී. මංජුල කුමාර