SRILANKAN NEWS

එ.ජා. මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට අමතර කාලයක ලබාදීම ගැන දෙ.ජා.ස. විරෝධය ; සුමන්දිරන් ජිනීවා යයි

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට අමතර කාලයක් ලබාදීමට ගනුලබන උත්සාහය පිළිබඳව දෙමළ ජාතික සන්ධානය විරෝධය පළ කරයි.

මාර්තු 23 වෙනිදා ජිනීවාහි පැවැත්වීමට නියමිත මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරයට සහභාගිවීමට නියමිත දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් එම විරෝධය පළකළේ ඊයේ (18) යාපනයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

යුද අධිකරණයක් පිහිටුවීමත් ඒ සඳහා විදෙස් විනිසුරන් පත්කිරීමත් අනිවාර්ය බව දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය බව ඔහු අවධාරණය කරයි.

අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ජිනීවා සැසි වාරයේදී තවත් අමතර කාලයක් ලබා දීමට සූදානම් වන්නේනම් ඊට දෙමළ ජාතික සන්ධානය විරෝධය පළ කරන බව කී මන්ත්‍රීවරයා, ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය සැසිවාරය හමුවේ පැහැදිලි කරන බව ද පැවසීය.

දෙමළ ජාතික සන්ධානය සිය ස්ථාවරය හැටියට මාර්තු 11 වෙනිදා වවුනියාවේදී සම්මත කරගත් යෝජනාවල කිසිදු වෙනසක් නොමැති බව සඳහන් කළ මන්ත්‍රීවරයා,2015 ඔක්තෝබර් 01 වෙනිදා ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව ඇතිව ජිනීවා සමළුවේදී සම්මත කර ගත් සියලුම යෝජනා ඒ ආකරයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව කියා සිටියි.

එම යෝජනා ක්‍රියාත්මක කරනු ලැබීම සහතික කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවිය යුතුය යන්න දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය බවත් සුමන්දිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

2015 ඔක්තෝබර් 01 වෙනිදා ශ්‍රී ලංකා රජයේ ද එකඟත්වය ඇතිව මානව හිමිකම් මණ්ඩලයේ සම්මත කරගත් යෝජනා කිසිවක් ඉටු කිරීමට රජයට උනන්දුවක් නොතිබූ බව මන්ත්‍රීවරයා පවසයි.

යුද අධිකරණයක් පිහිටුවීම, විදේශීය විනිසුරන් පත් කිරීම ඇතුළු කරුණු රැසක් යෝජනාවල ඇතුළත් නමුත් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් සෙසු අමාත්‍යවරුත් එම යෝජනා ඉටු නොකරන බව ප්‍රසිද්ධියේ පවසන බව කී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන්, ආණ්ඩුව එවැනි ප්‍රකාශ සිදුකිරීම අසාධාරණ බව සඳහන් කළේය.

දැනට පවතින ව්‍යවස්ථාවට අනුව විදෙස් විනිසුරන් පත්කිරීමට බාධාවක් නොමැති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා,හිටපු අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව චෝදනා විභාගකිරීමට පොදු රාජ්‍ය මණ්ඩලීය විනිසුරන් පත්කිරීම සඳහා පැවති සූදානම ඊට උදාහරණයක් වන බව ද කියා සිටියේය.

– බී.බී.සි. සිංහල –