SRILANKAN NEWS

වතුකරයේ පාසල්වලට විශ්‍රාමික ගුරුවරු බඳවා ගැනීමට ගුරු සංගමයෙන් විරෝධය

වතුකරයේ පාසැල් තුළ පවතින ගුරු පුරප්පාඩු පිරවීම සදහා විශ‍්‍රාමික ගුරුවරුන් නැවත් ගුරු සේවයට බදවා ගැනීමේ තීරණයට විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමය පවසා තිබේ.

මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර මේ වන විට සේවයේ නිරතව සිටින ගුරුවරුන් අදාළ පාසල් වලට අනුයුක්ත කිරීම සම්බන්ධවයෙන් පුළුල් අධ්‍යයනයක් කළ යුතු බවත්, එසේ නැතිනම් නව ගුරුපත්වීම් ලබාදීමට පියවර ගත යුතු බව ලංකා ගුරු සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව තරග විභාගයක් පවත්වා ගුරුවරු බඳවා ගැනීමට කටයුතු කිරීමට හැකියාව තිබියදී විශ්‍රාමික ගුරුවරු කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම ඵලදායී ක්‍රියාවක් නොවන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.

කෙසේ වෙතත් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධකි‍්‍රෂ්ණන් මහතා පසුගියදා බොගවන්තලාව ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගිවෙමින් පවසා සිටියේ, විශ‍්‍රාමික ගුරුවරුන් වතුකරයේ පාසල් වලට නැවත් සේවය සදහා බදවා ගැනීම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබාගෙන අැති බවයි.