SRILANKAN NEWS

රජුන් ඉදිරියේ ප්‍රශස්ති ගයන දේශපාලනයට ඉදිරියේදී ඉඩ නැහැ – ජනපති

රජුන් ඉදිරියේ ප්‍රශස්ති ගයන දේශපාලන සම්ප්‍රදායකට ඉදිරියේදී ඉඩ නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (19) පැවැසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණ විසින් ආරම්භ කරන ලද දේශපාලන ශාස්ත්‍රාලය ඊයේ (19) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී විවෘත කරමිනි.

නායකයන් ඉදිරියේ සියලුදේට “එසේය” කියන දේශපාලනඥයන් නොව “එසේ නොව මෙසේ යැයි“ කරුණු පෙන්වා දිය හැකි තරුණ දේශපාලනඥයන් පිරිසක් රට තුළ බිහි විය යුතු බව පැවැසූ ජනාධිපතිවරයා දැනුම, බුද්ධිය සහ අවබෝධය සමග කටයුතු කරන දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් මෙම ශාස්ත්‍රාලය ආරම්භ කිරීමට පියවර ගත් බව ද කියා සිටියේය.

අද පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට තිබෙන ප්‍රධානම අභියෝගය දේශපාලනඥයන්ට අත්දැකීම් නොමැතිකම බව මෙහිදී පැවැසූ ජනාධිපතිවරයා වරෙක ඇද වැටෙමින්, වරෙක නැගිටිමින් ඉදිරියට ආ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන ගමන් මග පිළිබඳ පක්ෂයේ සෑම තරුණ දේශපාලනඥයකු තුළම අවබෝධයක් තිබිය යුතු බවද කියා සිටියේය.

ඕනෑම දූෂිතයෙකුට සුදු රෙදි හැඳ මැතිවරණ ජයග්‍රහණය කිරීමට හැකි වූයේ මනාප ඡන්ද ක්‍රමය නිසා බව ද පැවැසූ ජනාධිපතිවරයා දේශපාලන පක්ෂවල ඇදවැටීමත් පුද්ගලාභිවන්දනයත් සිදුවූ මෙම දේශපාලන ක්‍රමය නිවැරදි කළ හැක්කේ දැනුම සහ අවබෝධය ලබාදීම තුළින් බව ද කියා සිටියේය.

දේශපාලන න්‍යායකට වඩා නිදහසින් පසු ලංකාවේ දේශීයත්වය, අපේකම් මෙන්ම ලාංකීය සංස්කෘතිය අගයන දේශමාමකත්වයෙන් යුත් බලවේගයක අවශ්‍යතාවය ඉටු කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි වූ බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා නිවැරදි ප්‍රතිපත්තියක්, දර්ශනයක් සහ වැඩපිළිවෙළක් සමග පක්ෂය එදා මෙදාතුර ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරියට ගමන් කරන බව කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුත්තේ පිරිසිදු හා අවංක දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් බවද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් ගමනක් පැමිණ තිබෙන බවත් පක්ෂයේ කාන්තා හා තරුණ සංවිධාන සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කෙරෙන බවත් කියා සිටියේය.

නිවැරදි දර්ශනයක්, ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් නොමැතිව දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉදිරියට යාමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා ලොව කොතැනක හෝ සිදුව නොමැති එවැන්නක් ඉදිරියට ද සිදු නොවන බව කියා සිටියේය.

අනාගතයේදී පිරිසිදු දේශපාලනඥයකු බිහිකිරීම වෙනුවෙන් මෙම දේශපාලන ශාස්ත්‍රාලය ආරම්භ කර තිබෙන අතර තුන් මාසික පුහුණු පාඨමාලාවකින් අනතුරුව ජාත්‍යන්තරය පිළිගන්නා සහතික පත්‍රයක් පිරිනැමේ. පසුගිය දශක කිහිපය පුරා කතා කළ එහෙත් පක්ෂ ඉතිහාසය තුළ ඉටුකර ගත නොහැකි වූ මෙම දේශපාලන ශාස්ත්‍රාලය තම නායකත්වය තුළ ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී සිය සතුට පළ කළේය.

දේශපාලන ශාස්ත්‍රාලය සඳහා ඇතුළත් කෙරුණ පළමු සාමාජිකයන් තිදෙනා සඳහා ලියාපදිංචි කාඩ්පත් පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදුවිය. නිදහස් පුවත් පතද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත, ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ‍ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර, ‍ලේකම් එරික් ප්‍රසන්න වීරවර්ධන යන මහත්වරුන් ඇතුළු තරුණ පෙරමුණේ සාමාජික සාමාජිකාවන් මීට එක්ව සිටියහ.