SRILANKAN NEWS

අලුත් පක්‍ෂයක් හැඳුවොත් මෙතෙක් කල් රහස් ලෙස තියා ගත් දේවල් සියල්ල හෙලිකරනවා – ජනාධිපති

Maithripala-Sirisenaවංචාවට, දූෂණයට, නාස්තියට හා හොරකමට ඔටුනු පැළඳු අයට නැවත මේ රටේ පාලනයකට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. සුන්දර සංවර්ධනයක් පිළිබඳ කථා කරමින් පසුගිය රජය කෝටි නව ලක්ෂයක ණය බරක් සමග රට ඇද දැමූ ආර්ථික අර්බුදයෙන් ඒකාන්තයෙන්ම රට ගොඩගැනීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග එක්ව කටයුතු කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති මෙමත්‍රීපා සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ ඊයේ (19) පස්වරුවේ මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ පැවති සම්මුතිවාදී ආණ්ඩුවේ වසර පහක ඉදිරි ගමනේ පළමු සැමරුම් උත්සවය අමතමිනි.

සැබෑ නොවන සිහින දකිමින් ආණ්ඩුව වෙනස් කිරීමට කවුරුන් කෙසේ උත්සාහ දැරුවත් එම අරමුණු ඉටු කර ගත නොහැකි බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ශක්ත්මත්, ජාති හිතෛෂි ගුණවත් හා නැණවත් දේශපාලන ඥානයකින් යුතුව සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගෙන යන බවත් එහි ඉදිරි ගමන 2020 දී තීන්දු කරන බවත් ප‍්‍රකාශ කළේය.

දේශප්‍රේමින් ලෙස කෑ ගසන බොහෝ අයට වඩා තමන් සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ රටට ආදරය කරන බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ලෝකයේ කිසිදු රටකට හෝ බලවේගයකට රට යටත් කර ගැනීමට ඉඩ නොතබන බව ද අවධාරණය කළේය.

මානව හිමිකම් කොමිසන් සභාවේ යෝජනා කි‍්‍රයාත්මක කරමින් එම ගැටළු නිරාකරණය කර ගැනීමට රජය කටයුතු කරන විට ඒවා විවේචනය කරමින් ඇතැමුන් ඉතා අසත්‍ය ප‍්‍රචාර ගෙන යන බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා එසේනම් එම යෝජනා ක්‍රියාත්මක කිරීමට අදාළ විකල්ප විසඳුම් රජයට ඉදිරිපත් කරන ලෙස තමා ඔවුන්ට යෝජනා කරන බව ද කියා සිටියේය.

උතුරේ හෝ දකුණේ කිසිදු පුරවැසියෙකුට නැවත ආයුධ අතට ගැනීමට අවශ්‍යතාවක් නොමැති දේශපාලන පදනමක් සහිත ශක්තිමත් සංහිදියා වැඩපිළිවෙළක් වත්මන් රජය රට තුළ ගෙන යන බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

වංචා දුෂණ සිදු කළ අයට දඩුවම් ලබා දෙමින් වංචාව දූෂණය සහ අක‍්‍රමිකතාවය පිටු දකිමින් සම්මුතිවාදී ආණ්ඩුව පිරිසිදු දේශපාලන ගමනක නිරතවන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා රජය තුළ සිටින කිසිවෙකු වංචා, දූෂණ සිදු කරන බවට පැහැදිළි තොරතුරු අනාවරණය වුවහොත් ඔවුන්ට පසුගිය රජයේ වංචා දුෂණ සිදුකළ පුද්ගලයින්ට වඩා දැඩි දඩුවම් ලබා දීමට කටයුතු කරන බවද ප‍්‍රකාශ කළේය.

අපිව පෙරලන්න අලුත් පක්ෂ හදනවාලු..  හදලා බලමු..!, හදලා බලමු..!!, මං ඒගොල්ලන්ට කියනවා ගිය අවුරුද්දේ ජනවාරි මාසේ 8 වෙනිදා ජනාධිපතිවරණ වෙලාවේ ඒගොල්ලන් කරපු වංචා දූෂන හොරකම් ප්‍රජාතන්ත්‍රවිරෝධී කටයුතු රටක් පාලනය කළ ඉතාමත් අශීලාචාර තත්ත්වය අපි එදා හෙළි කළා වගේම එ්ගොල්ලො අලුත් පක්ෂයක් හදපු දවසට ඊටත් වඩා මෙතෙක් කල් නොකියපු දේවල් මෙතෙක් කල් රහස් ලෙස තියා ගත් දේවල් මේ සියල්ල එලියට දාලා ඒගොල්ලන්ට ආණ්ඩු කරන්න නොවෙයි සදාකාලිකවම මහ පාරේ ඇවිද ඇවිද ඉන්න අවශ්‍ය වට පිටාව හදනවයි කියන එකත් මං කියනවා..“ යි ද ජනාධිපතිවරයා පැවසීය.