SRILANKAN NEWS

පළාත් සභා තුනක මැතිවරණය මනාප ක්‍රමයට – ඇමැති ෆයිසර් මුස්‌තෆා

කාලය අවසන් වන උතුරුමැද, නැගෙනහිර සහ සබරගමුව පළාත් සභා තුනේ මැතිවරණය පවතින මනාප ඡන්ද ක්‍රමයටම. පවත්වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්‌තාපා මහතා මාධ්‍යට ඊයේ (09) පැවසීය.

මෙම පළාත් සභා තුනේ නිල කාලය මේ වසරේ සැප්තැම්බර් මාසයේ අවසන් වන බවත් ඒ අනුව පළාත් සභා තුනේ මැතිවරණය ඉදිරි අයවැයට පෙර පැවැත්වීමට රජය අදහස්‌ කර ඇති බවත් අමාත්‍යවරයා කීය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව සංශෝධන මේ වන විට අවසන් කර ඇති බවත් එය ලබන සතියේ කැබිනට්‌ මණ්‌ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා කීය.

කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතියෙන් පසු එය ගැසට්‌ කරන බවත්, ඉන්පසු මැතිවරණ කොමිසමට මැතිවරණයට අදාළ දින ප්‍රකාශ කළ හැකි බවත් පැවසූ අමාත්‍යවරයා මෙය කොට්‌ඨාස ක්‍රමයට පවත්වන බවද පැවසීය.

සබරගමුව හා උතුරුමැද යන පළාත් සභා දෙකේ බලය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ පවතින අතර, නැගෙනහිර පළාත් සභාව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය එක්‌සත් ජාතික පක්‌ෂය හා තවත් පක්‌ෂ එකතුව පාලනය කරයි.