SRILANKAN NEWS

ජනතා අරගලයට විසඳුමක් දෙන්න – අගමැතිගෙන් ඩග්ලස් ඉල්ලා සිටියි..

13වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම පටන් ක්‍රමානුකූලව ජාතික ප්‍රශ්ණයට අවසන් විසඳුමක් ඉදිරිපත් කිරීම සඳහා වූ පියවර ගන්නා ලෙස ඊ.පී.ඩී.පී. පක්‍ෂයේ ලේකම් ඩග්ලස් දේවානන්දා මහතා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ.

13වන සංශෝධනයට එහා දෙමළ ජනතාවගේ දේශපාලනික අභිලාෂයන් සපුරා දිය හැකි පිළිගත් නව විසඳුමක් හෝ සංශෝධනයක් ඉදිරිපත් කරන්නේ නම් එයට තම පක්‍ෂයේ පූර්ණ සහාය ලබා දෙන බව ඩග්ලස් දේවානන්දා මහතා පවසා තිබේ.

පසුගියදා අග්‍රමාත්‍යවරයා සහ ඩග්ලස් දේවානන්දා මහතා අතර පාර්ලිමෙන්තු පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවකදී මෙලෙස ඉල්ලා තිබේ. එහිදී දෙමළ ජනතාවගේ දැනට පවතින ප්‍රධාන ප්‍රශ්ණ වන ඉඩම් නිදහස් කර ගැනීම, අතුරුදන්වූවන්ගේ ප්‍රශ්ණය, රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්ණය, සහ බන්‍ධනාගාරවල දිගු කලක් තිස්සේ රඳවා තබා සිටින දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්ණය ගැන ද සාකච්ඡා කළ බව ඊ.පී.ඩී.පී. පක්‍ෂය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් කර තිබේ.

ක්‍රමානුකූලව හෝ විසඳුමක් ලබාදිය යුතු බවත්, තම ඉල්ලීම්වලට රජය විසඳුමක් ලබාදීමට ඉදිරිපත් වනු ඇතැයි විශ්වාසයක් ඇති වන අයුරින් රජය කටයුතු කළ යුතු බව අග්‍රමාත්‍යවරයා වෙත පෙන්වාදුන් බව එහිදී සඳහන් කර තිබේ.

මේ සම්බන්‍ධයෙන් ඩග්ලස් දේවානන්දා මහතා ඉදිරියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව පැවැසේ.