SRILANKAN NEWS

ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සඳහා ජපානයේ උපරිම සහය

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඇති ඓතිහාසික සබඳතා පදනම් කරගනිමින් අනාගතයේ වඩාත් සමීපව කටයුතු කිරීම සඳහා සැලසුම් සකස් කර ගත යුතු බවත්, ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සඳහා උපරිම සහය ලබා දීම තම අරමුණ බවත්, ජපන් – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති වතරු තකෙෂිතා (Mr. Wataru Takeshita) මහතා පවසයි.

ජපානයේ සංචාරයේ යෙදෙන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස වෙත ජපන් – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය විසින් පිරිනැමූ දිවා භෝජන සංග්‍රහය අවස්ථාවේ තකෙෂිතා මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාව සහ ජපානය අතර මෙන්ම දෙරටේ පාර්ලිමේන්තු අතර ද, සබඳතා තව තවත් ශක්තිමත් කරලීම උදෙසා තම සංගමය සැම විටම කැපවන බවය.

ජපන් – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ මහලේකම් යුකෝ ඔබුචි (Mrs. Yuko Obuchi) මහත්මිය ඇතුළු සංගමයේ ප්‍රධාන නිලධාරීන් මෙම අවස්ථාවට එක්වූ අතර, ඔවුන් සියලු දෙනාම ශ්‍රී ලංකාව වෙත උපරිම සහය ලබා දීම සඳහා කටයුතු කරන බව අවධාරණය කර තිබේ.

මේ වසරේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වසර 70 ක් සම්පූර්ණ වන නිසා, ජපන් – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමග පවත්වන මේ සාකච්ඡාව විශේෂ වැදගත් කමක් උසුලන බව පැවසූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, යුකෝ ඔබුචි මහත්මියගේ පියාණන් වූ හිටපු අග්‍රාමාත්‍ය ඔබුචි මහතාගේ යුගයේ සිටම ජපන් – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ශ්‍රී ලංකාව වෙත ලබා දුන් අනුග්‍රහය අතිශයින් අගය කර තිබේ.