ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස ඊයේ (17) දින හැනොයි නුවර ජනාධිපති මන්දිරයේ දී වියට්නාම් ජනාධිපති ට්‍රැන් ඩයි ක්වන් (Tran Dai Quang) මහතා හමුවී සාකච්ඡා කර තිබේ.
ජාතික සංවර්ධනය සහ සංහිඳියාව ඉලක්ක කර ගනිමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා රජය ගෙන යන ධනාත්මක වැඩපිළිවෙළ අගය කරන බව පැවසූ වියට්නාම් ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ අනාගත අපේක්ෂාවන් සාර්ථක කර ගැනීම උදෙසා වියට්නාමයේ පූර්ණ සහය ලබා දීමට සූදානම් බව ද එහිදී අවධාරණය කර තිබේ.
වික්‍රමසිංහ මහතාගේ සංචාරය පැරණි මිතුදම් ශක්තිමත් කිරීමට මෙන්ම, දෙරට අතර සබඳතා නව මානයකට එසැවීමට ද හේතු වූ බව ද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.
මේ අතර, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අවබෝධතා ගිවිසුම් දෙකකට ඊයේ (17) පෙවරුවේ අත්සන් තැබිණි.
“2017 – 2019 වසර සඳහා කෘෂිකාර්මික සංවර්ධන සහයෝගීතාවය සඳහා වූ ක්‍රියාකාරී සැලසුම” පිළිබඳ ගිවිසුම වියට්නාම් කෘෂිකර්ම අමාත්‍ය චඕ ඩුච් ෆට් (Cao Duc Phat) මහතා විසින් ද, අධ්‍යාපන සහයෝගීතාවය සඳහා වූ ගිවිසුම වියට්නාම් අධ්‍යාපන අමාත්‍ය ෆම් වු ලූවන් (Pham Vu Luan) මහතා විසින් ද අත්සන් තැබිණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරන ලද්දේ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක මහත්මිය විසිනි.
Add Comment