SRILANKAN NEWS

දේශපාලන සිරකරුවන්ගේ නිදහස, ඉඩම් නිදහස ගැන කඩිනමින් පියවර ගන්න – ඩග්ලස් දේවානන්දා

දෙමළ දේශපාලන සිරකරුවන්ගේ නිදහස සහ උතුර නැගෙනහිර පළාත්වල හමුදාව හා පොලීසිය සතුව තිබෙන ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම සම්බන්‍ධයෙන් ජනාධිපතිවරයා මැදිහත්වී කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඩග්ලස් දේවානන්දා මහතා මේ බව පවසා තිබේ. දෙමළ දේශපාලන සිරකරුවන් උපවාස විරෝධතා පවත්වන අවස්ථාවලදී පමණක් ඔවුන්ගේ නිදහස ගැන කතා කරන තත්වයක් පවතින අතර ඔවුන්ගේ නිදහස ගැන තමන් පාර්ලිමෙන්තුවේදී දිගින් දිගටම පෙන්වාදුන් බවත් මේ සම්බන්‍ධයෙන් මානුෂික අයුරින් නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි ඉල්ලා තිබේ.

තවද හමුදාව යටතේ තිබෙන ඉඩම් නිදහස් කිරීම ගැන ද පාර්ලිමෙන්තුවේ සහ ජනාධිපතිවරයාගෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලා ඇති බවත් ඒ ගැන ද කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි ඩග්ලස් දේවානන්දා මහතා වැඩිදුරටත් ඉල්ලා තිබේ.