ඉන්දීය අත්අඩංගුවේ සිටි ධීවරයින් 7ක් නිදහස්

ඉන්දියානු මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකික ධීවරයින් 7 දෙනෙකු යළි මෙරටට භාර දීමේ කර්තව්‍ය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව ඊයේ (25) දින සිදු කෙරිණි.

මෙම ධීවරයින් පිරිස සහ ඔවුන් ගමන් ගත් කවීෂ පුතා III (IMUL/A/88/CHW) නමැති ට්‍රෝලර් යාත්‍රාව පසුගිය අප්‍රේල් 4 වන දින ඉන්දියානු වෙරළාරක්ෂක බළකායට අයත් වයිබාව් නමැති නෞකාව මගින් අත්අඩංගුවට ගත් අතර, එම ට්‍රෝලර් යාත්‍රාව අප්‍රේල් මස 6 වන දින දක්වා ඉන්දියාවේ තූත්තුකුඩි ප්‍රදේශයේ රඳවා තබා ගෙන ඇත.

ඉන් අනතුරුව එම ධීවරයින් පිරිස රාමනාදපුරම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු චෙන්නායි හි පිහිටි පුසාල් බන්ධනාගාරයේ රඳවා තබා ගන්නා ලදී. පසුව අප්‍රේල් මස 21 වන දින ඔවුන් නිදහස් කිරීමට කටයුතු කර ඇත.  ‍

මෙම ධීවරයින් මාර්තු මස 6 වන දින දික්ඕවිට ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර, එන්එම්ඩීකේ ප්‍රනාන්දු, පීඩීඑම් ප්‍රනාන්දු, පීඒපීපී අත්තනායක, එම්ඒපීපී අත්තනායක, ඩබ්ඒඑස්එස් තිසේරා, ඩබ්ඒඒඑස්එස් කුමාර සහ ඩබ්එස්ආර් ප්‍රනාන්දු යන ධීවරයින් පිරිස එම යාත්‍රාවේ සිට ඇත.

ඒ අනුව, එම කාර්යය පුත්තලමට ඔබ්බෙන් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී සිදු කෙරුනු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ එඩිතර II වේග ප්‍රහාරක මුර යාත්‍රාව සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘ආදේශ්’ නෞකාව ද සහභාගී විය. නිදහස් කෙරුණු ධීවරයින් පිරිස සහ ට්‍රෝලර් යාත්‍රාව නාවික හමුදාවේ ආරක්ෂාව මත දික්ඕවිට වරා‍ය වෙත රැගෙන එන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top