හෙට දින කොළඹ සහ මහනුවර විශේෂ රථ වාහන සැලැස්මක්..

මැයි දින රැළි සහ උත්සව වෙනුවෙන් මෙවර වාහන ගමනාගමනයට වසා තැබෙන මාර්ග පිළිබඳ සටහනක් පොලීසිය නිකුත් කර තිබේ.

මැයි පළමු වනදා උදෑසන 9 සිට පස්වරු 5 දක්වා මාළිගාවත්ත ප්‍රදීපා මාවත, ජුම්මා මස්ජිද් හංදිය සිට සංඝරාජ වටරවුම දක්වා මාර්ගය වසා තැබෙන අතර පස්වරු 1 සිට 6 දක්වා බේස්ලයින් මාර්ගයේ දෙමටගොඩ හංදියේ සිට බොරැල්ල හංදිය දක්වා වසා තැබේ.

සරණංකර මාර්ගයේ පාමංකඩ හංදියේ සිට එස්. ද එස්. ජයසිංහ ක්‍රිඩාංගණය දක්වා මාර්ගය මැයි පළමු වනදා පස්වරු 1 සිට 4 දක්වා වසා තැබීමට නියමිත අතර පස්වරු 1 සිට 5 දක්වා ඉබ්බන්වල හංදියේ සිට කොම්පඤ්ඤවීදිය දෙසට ඇතුළු විය නොහැකියි.

පෙරවරු 11 සිට පස්වරු 5 දක්වා මරදාන මාර්ගයේ බොරැල්ල හංදිය දක්වා, සංඝරාජ මාවතේ සහ පංචිකාවත්ත මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරෙන අතර පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා ආමර් වීදිය සුමනතිස්ස මාවතේ වාහන ගමනාගමනය ද සීමා කර තිබේ.

සොන්ඩර්ස් මාර්ගයේ ගමනාගමන කටයුතු පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා සීමා කෙරෙන අතර පෙරවරු 6 සිට පැය 4ක කාලයක් මිහිඳු මාවත, ගුණසිංහපුර හංදිය, වේල්ලවීදිය උසාවිපාර හංදිය සහ පංචිකාවත්ත මාර්ගයේ බැංකු මාවත හංදියේ වාහන ගමනාගාමන කටයුතු සීමා වනු ඇති.

සෙරමික් හංදියේ සිට ගාලුමුවදොර කොල්ලුපිටිය දක්වා පස්වරු 1 සිට 5 දක්වා ගමනාගමන කටයුතු සීමා කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

මේ අතර, මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය පැවැත්වෙන්නේ මහනුවර ගැටඹේ ක්‍රිඩාංගණයේදී ය.

ගන්නෝරුව මාර්ගයෙන් ගැටඹේ ක්‍රීඩාංගණය වෙත සහ මහනුවර පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක මාවත ඔස්සේ ගැටඹේ ක්‍රිඩාංගණය වෙත එහි පෙළපාළිය පැමිණීමට නියමිත ය.

පොලීසිය පවසන්නේ එම සියලු මාර්ග මැයි පළමු වනදා පෙරවරු 6 සිට සම්පූර්ණයෙන් ම වසා තැබෙන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top