SRILANKAN NEWS

එක්නැලිගොඩ ත්‍රස්තවාදයට සම්බන්ධ නැහැ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

prageetheknaligoda_CIරජයේ ආයතන දහයක තොරතුරු මත කරන ලද විමර්ශනයට අනුව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට සම්බන්ධ වී හෝ ඊට අනුබලදීමක් සිදුකර හෝ නොමැති බවත් ඔහුට එරෙහිව කිසිදු ආයතනයක් හරහා අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23දා) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වනු ලබන නඩුවිභාගය ඊයේ දිනද හෝමාගම අධිකරණයේ මහේස්ත්‍රාත් නිල කාමරයේදී වැඩ බලන මහේස්ත්‍රාත් සරෝජා වනිගසේකර මහත්මිය ඉදිරියේ විභාගයට ගැනුණි.

එහිදී බන්ධනාගාර ගතව සිටි හමුදා බුද්ධි අංශ නිලධාරීන් අට දෙනා ද අධිකරණයේ පෙනී සිටි අතර යළිත් මෙම සැකකරුවන් ලබන 06 වෙනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්‍ෂක ප්‍රේමතිලක මහතා ඇතුළු නිලධාරීන් පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් දර්ශන කුරුප්පු මහතා ඇතුළු නිතීඥවරුන් පෙනී සිටියහ.