SRILANKAN NEWS

අල්ලස් කොමිසම මඟින් අධිකරණය හමුවේ නඩු 392ක්

පසුගිය වසර 05ක කාලය තුළ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මඟින් අධිකරණය හමුවේ නඩු 392ක් පවරා ඇති බව එම කොමිසම පවසයි.

මහේස්ත්‍රාත් සහ මහාධිකරණ හමුවේ අදාළ නඩු පැවරූ බව අල්ලස් කොමිසම සඳහන් කළේය. 2012 වසරේ සිට 2016 වසර දක්වා අදාළ නඩු පැවරීම් සිදු කර ඇති බව සඳහන්වේ.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ට්‍රන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය සිදු කළ කරුණු විමසීමකට පිළිතුරු දෙමින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මෙම අදහස් පළ කර තිබේ.

මේ අතර මෙම වසර 05ක කාලය තුළදී අල්ලස් හෝ දුෂණ සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 106ක් බව එම කොමිසම සඳහන් කර ඇත.

පසුගිය වසර 02 තුළ අල්ලස් හෝ දුෂණය අවම කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බව ද කොමිසම සඳහන් කළේය.

ඒ අනුව දුෂණ විරෝධි පා ගමනක් සංවිධානය කිරීමට සහයෝගය ලබාදීම, දිවයින පුරා විවිධ ස්ථානවල නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, දුෂණය තුරන් කිරිම සඳහා ස්ටීකර් ව්‍යාපාරයක් ක්‍රියාවට නැංවිම, අල්ලස් හා දුෂණය නිවාරණය සම්බන්ධයෙන් දීපව්‍යාප්ත තරඟ පැවැත්වීම සිදු කළ බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම සඳහන් කළේය.