SRILANKAN NEWS

චුන්නාගම් පොලීසියේ පහකට එරෙහිව ඝාතන චෝදනා යටතේ නඩු

GTN FLASH NEWS 01චුන්නාගම් පොලිස් ස්ථානයේ තරුණයකු වද හිංසා කර ඝාතනය කිරීමේ චෝදනාවකට අදාලව පොලිස් නිළධාරීන් පස් දෙනෙකුට එරෙහිව කිලිනොච්චිය අධිකරණයේ නඩු පවරන ලෙස නීතිපති දෙපාර්තුමෙන්තුව නියෝගය කර ඇතැයි ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා මල්ලාගම් මහේස්ත්‍රාත් අධිකරණයේදී පවසා සිටියේය.

පසුගිය 2011 වසරේ නොවැම්බර් මස 21 වැනිදා චුන්නාගම් පොලිසිය විසින් තරුණයන් කිහිප දෙනෙකු සොරකම් කිරීමේ චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගෙන තිබුණි. එම තරුණයන්ව පොලිස් ස්ථානයේ රඳවා වද හිංසා කර ප්‍රශ්ණ කිරීමේදී ශ්‍රී ස්කන්දරාසා සුමනන් නැමැති තරුණයා මිය ගොස් තිබේ.

අනතුරුව මියගිය තරුණයාගේ මළසිරුර ඉරණමඩු වැවේ විසිකර, ඉකුත් තරුණයා තමන් සොරකම් කළ භාණ්ඩ සඟවා තබා ඇති ස්ථානය පෙන්වීමට තමන්ව කිලිනොච්චියට කැඳවාගෙන ගිය බවත්, එහිදී එම තරුණයා ඉරණමඩු වැවට පැන සියදිවි හානිකරගත් බවට පොලිසිය පවසා තිබුණි.

මෙවැනි තත්වයකදී එම සොරකම පිළිබඳ නඩුව පසුගිය මස 25වැනි දින මල්ලාගම් මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේ, චෝදනා ලැබූ තරුණයන්ව අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එහිදී තම මිතුරාව චුන්නාගම් පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ චින්තක බණ්ඩාර (දැනට කොඩිකාමම් පොලිස් ස්ථානාධිපති) සහ දෙමළ පොලිස් නිළධාරීන් තිදෙනෙකු ඇතුළු අට දෙනෙකු බොරු චෝදනා මත තමන්ව අත්අඩංගුවට ගෙන වදහිංසා කළ බවත්, එහිදී තම මිතුරා මියගිය බවත්, මිතුරාගේ මළ සිරුර ඉරණමඩු වැවට විසිකර ඔහු සියදිවි නසාගත් බවට පොලිසිය පැවැසූ බව එම තරුණයන් අධිකරණය ඉදිරියේ පවසා සිටියෝය.

අනතුරුව සිද්ධියට සම්බන්‍ධ පොලිස් නිළධාරීන්ව අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබුණි.

මෙවැනි තත්වයකදී ඉකුත් නඩුව යළි ඊයේ (26) දින විභාග කළ අවස්ථාවේ, යාපනය දිස්ත්‍රික්ක නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා විසින් නීතිපති දෙපාර්තුමෙන්තුව විසින් පොලිසියට ලබාදුන් දැනුම්දීම අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී ඉකුත් සිද්ධියට සම්බන්‍ධ අට දෙනාගෙන් පස් දෙනෙකුට එරෙහිව ඝාතනය කිරීමේ චෝදනාව යටතේ කිලිනොච්චිය අධිකරණයේදී නඩු පවරන ලෙසත්, ඉකුත් පොලිස් නිළධාරීන් අට දෙනාට එරෙහිව වදහිංසා කිරීමේ චෝදනාව යටතේ යාපනය අධිකරණයේදී නඩු පවරන ලෙසත් නීතිපති දෙපාර්තුමෙන්තුව නියෝග කර ඇති බව සඳහන් කළේය.

අනතුරුව ඉකුත් නඩුව ලබන 9 වැනිදාට කල් තැබුණි.