SRILANKAN NEWS

ස්වාධීන කොමිෂන් සභා දේශපාලන න්‍යාය පත‍්‍රවලට වැඩ නොකළ යුතුයි – ජනාධිපති

Maithripala-Sirisena - මෛත්‍රීරටේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම මානව අයිතීන් සුරක්ෂිත කර වංචාවෙන් දූෂණයෙන්, අක‍්‍රමිකතාවයෙන් තොර රටක් ගොඩනැගීමට ස්ථාපිත කළ ස්වාධීන කොමිෂන් සභා දේශපාලන න්‍යාය පත‍්‍රවලට වැඩ නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

යම් ගැටලුවක් මතුව ඇත්නම් ඒ පිළිබඳව පරික්ෂා කළ යුතු ක‍්‍රමවේදයක් තිබෙන බවද පෙන්වා දුන් ජනාධිපතිතුමා නීතිය සෑම කෙනෙකුටම සාධාරණ විය යුතු බව ද අවධාරණය කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (12) ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ පැවති “සත්විරු සංහිඳ” නිවාස හා ඉඩම් හිමිකම් ප‍්‍රදානෝත්සවය අමතමිනි.

යුද, ගුවන්, නාවික ති‍්‍රවිධ හමුදා සාමාජිකයින් දේශපාලන අතකොළු බවට පත් කර නොගන්නා ලෙස ද මෙහිදී සියලුදෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිතුමා සැබෑ ලෙසම රටට ආදරය කරන, ජාතික ආරක්ෂාවට ගරු කරන කිසිවෙකුට එසේ කළ නොහැකි බවද කියා සිටියේය.

කිසිදු අවස්ථාවක ආරක්ෂක අංශ දුර්වල කිරීමට සහ රණවිරුවන් අපකීර්තියට පත්වන සිදුවීම් සඳහා ඉඩ තැබීමට තමා කටයුතු නොකළ බවද පැවසූ ජනාධිපතිතුමා පසුගිය දිනවල හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙකු උසාවියට ගෙන යාමේ සිදුවීමට ද රටේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තමාට එකඟවිය නොහැකි බව කියා සිටියේය.

උසාවියට දුරකථන ඇමතුම් ලබාදීම, ස්වාධීන කොමිෂන් සභාවලට ඇඟිලි ගැසීම හෝ විනිශ්චයකාරවරුන්ට බලපෑම් කිරීම, අපරාධ, මංකොල්ල කෑම් සහ ස්ත්‍රී දූෂණ වැනි බරපතළ චෝදනා ලැබූ පිරිස් නිදහස් කිරීම තම ප‍්‍රතිපත්තිය නොවන අතරම රටේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරමින් රටේ සියලු ජනතාව වෙනුවෙන් වූ යුගයේ වගකීම ඉටු කිරීමට තමා ජනාධිපති ධූරයට පත්වූ බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.