ඉන්දීය ආධාර රැගත් තුන්වන නෞකාවත් කොළඹ වරායට

විපතට පත් ජනතාවට සහන සැලසීම පිණිස ඉන්දීය ආධාර රැගත් තුන්වන නෞකාවත් කොළඹ වරායට ළගා වුණා. වෛද්‍යවරුන් සහ ද්‍රව්‍යමය ආධාර රැගත් මෙම නෞකාව කොළඹ වරායට ළගා වූයේ අද පෙරවරුවේයි.

ඉන්දීය නෞකාවෙන් රැගෙන ආ ආධාර තොගය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාර ගත්තේ ජනාධිපති ලේකම් පී බී අබේකෝන් ය. අනතුරුව එම ආධාර තොගය නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න වෙත භාර දෙනු ලැබුවා. ඖෂධ, වියළි ආහාර ද්‍රව්‍ය, කුඩා බෝට්ටු, පානීය ජල බෝතල්, වැහි කබා, කූඩාරම් ඇතුළු ටොන් දහයක පමණ ආධාර ඊට අයත් වුණා. නෞකාවෙන් පැමිණි ඉන්දීය වෛද්‍යවරුන් ඇතුළු සහන කණ්ඩායම් ආපදාවට පත් ප්‍රදේශ කරා පිටත් කර යැවීමටද එම අවස්ථාවේම පියවර ගැනුණා. වැඩ බලන ආපදා කළමනාකරණ අමාත්‍ය දුනේෂ් ගන්කන්ද ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top