SRILANKAN NEWS

අන්තවාදයට ඉඩක් නැහැ – පොලීසිය

අන්තවාදී ක්‍රියා සිදු කිරීමට ඉඩක් නෑ - පොලිස් මාධ්‍ය ප්‍රකාශකවිවිධ ජාතීන් මෙන්ම ආගම් අතර විරසක ඇතිවන ආකාරයේ අන්තවාදී ක්‍රියා සිදුකිරීමට නීතියෙන් කිසිඳු ඉඩක් ලබානොදෙන බවත් එවැන්නවුන් සඳහා 2007 අංක 56දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සුරැකීමේ පනත යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

අප්‍රේල් මාසයේ දී දිවයින පුරා එවැනි ජාතීන් අතර අනර්ථකාමී ප්‍රධාන සිදුවීම් 16ක් වාර්තාවන අතර ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බවත් පෙන්වාදුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගිය දිනක නුගේගොඩ වෙළෙඳසැල් ගිනිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් පවතින බවත් ඔහු බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු බව අනාවරණය වී ඇතැයි  ද පැවසීය.

ඔහු ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සමඟ ඉතා සමීපව කටයුතු කළ ඇති අතර 2014 වසරේ සිට මේ දක්වා බොදු බල සේනා සංවිධානය සමග ක්‍රියාකාරී ලෙස කටයුතු කොට ඇති බවත් මේ වන විට අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.

මෙලෙස ජාතීන් හා ආගම් අතර විරසකයන් ඇති වන ආකාරයෙන් ක්‍රියාත්මක වන කණ්ඩායම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය ඉතාමත් අවධානයෙන් පසුවන බවත් එවැනි අන්තවාදී කණ්ඩායම් සඳහා රටේ නීතිය බිඳ දැමීමට ඉඩ දිය නොහැකි බැවින් එවැන්නන් සම්බන්ධයෙන් නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.