SRILANKAN NEWS

කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය – සැකකරුවන් හය දෙනාට ඇප

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යුද හමුදා මේජර්වරයා ඇතුළු හමුදා බුද්ධි අංශ නිලධාරීන් හයදෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරුණා.

ඒ අනුව එක් එක් සැකකරුවන් රුපියල් තිස් පන්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහළොව බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. ඇපකරුවන්ගෙන් එක් අයෙකු සමීප ඥාතියෙකු විය යුතු බවට හා තවත් අයෙකු රාජ්‍ය නිලධාරියෙකු විය යුතු බවටද අධිකරණය නියෝග කළා.

සැකකරුවන්ගේ විදේශ ගමන් ද තහනම් කිරීමටයි කටයුතු කෙරුණේ. සෑම ඉරිදා දිනයකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද සැකකරුවන්ට නියෝග කෙරුනා. යම් හෙයකින් විමර්ශනවලට හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇති බවට වාර්තා වුවහොත් ඇප අවලංගු කර යළි රක්ෂිත බන්ධනාගාරගත කරන බවයි මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක වැඩිදුරටත් අවධාරණය කළේ.