SRILANKAN NEWS

සියම් නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ මහනායක හිමිගෙන් නිවේදනයක්..

රට තුළ ජාතිවාදය අවුස්‌සමින් විවිධ ප්‍රකාශ නිකුත් කරන දේශපාලඥයින් සම්බන්ධයෙන් බලධාරීන් විසින් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකිරීම සහ මෙම තත්ත්වයට එරෙහිව කටයුතු කරන භික්‌ෂූන් වහන්සේලා නිහඬ කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් තම දැඩි අප්‍රසාදය පළ කරන බව සියම් නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥනරතන හිමියෝ සදහන් කර සිටියි. නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කර තිබේ.

රජය විසින් ක‍්‍රියාත්මක කළ යුතු කරුණු 8ක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව එහිදී සඳහන් කර තිබේ.

මේ වන විට රටට බුද්ධ ශාසනයට මෙන්ම ජනතාවට එල්ල වන විවිධ අභියෝග, මැති ඇමතිවරුන් හා වෙනත් පුද්ගලයින් විසින් භික්ෂූන් වහන්සේට නින්දා අපහාස සිදුකිරීම, ජාතිවාදී හැගීම් අවුස්සන ඇතැම් දේශපාලනඥයින්ගේ ප‍්‍රකාශ හා ඒවාට ප‍්‍රතිචාර දක්වන භික්ෂූන් වහන්සේ නිහඩ කිරීම සඳහා රජය දරන උත්සාහයට අප‍්‍රසාදය පළ කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙමඟින් අවධානය යොමුකර ඇත.
එමෙන්ම සිංහල හා බෞද්ධයින් ඉලක්ක කරගනිමින් නව නීති රීති හඳුන්වාදීමට උත්සාහ කිරීම තුළින් සමාජය තුළ අර්බුදකාරී තත්ත්වයක් හටගැනීම, ජාතික සංහිඳියාවට මුවාවී සිදුකරනු ලබන රක්ෂිත හා ඒ ආශ‍්‍රිත ඉඩම් මංකොල්ලය, පෞරාණික සිද්ධස්ථාන ආරක්ෂා කිරීම හා සංවර්ධනය පසෙකලා එම ස්ථාන සංචාරක පාරාදීසයන් බවට පත් කිරීමට ගනු ලබන ක‍්‍රියාමාර්ග ඇතුළු කරුණු අටක් පිළිබද අස්ගිරි පාර්ශවය රජයේ අවධානයට යොමුකර ඇති බව සඳහන් වෙයි.